fbpx
More

    අගමැති නියෝග පස්සට – චක්‍රලේඛ කුණු කූඩයට – හිතුවක්කාර ලෙක්ම්වරු රජයේ අරමුණු කුඩු කරයි.

    Must read

    උග්‍ර ඉන්ධන අර්බුදය හා ජීවන අර්බුදය හමුවේ රජය විසින් ගනු ලබන තීන්දු තීරණ නිසි ලෙස ක්‍රියාත්මක නොවන තත්ත්වයක් උද්ගතව ඇති බව නිරීක්ෂණය කළ හැකිය. එහිදී වැදගත්කොටම සැලකිය යුතු කාරණයක් වන්නේ රාජ්‍ය සේවකයින් සීමා සහිතව සේවයට කැදවීම උදෙසා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ගත් තීන්දුවයි.

    මෙය ඉතා වැදගත් කාරණකි. තාක්ෂණික වශයෙන් බොහෝ දේ සිදුකළ හැකිව තිබෙන තත්ත්වයක් තුළ මෙවැනි ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ඉන්ධන නැති මෙන්ම ඇති කාලයකටද උචිතය. වැදගත් වන්නේ සේවකයින් සිටින තැන නොව ඔවුන් නිසි ලෙස සිය වගකීම ඉටුකරනවාද යන්නයි.

    කෙසේ වෙතත් පසුගිය දිනෙක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාම පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ රාජ්‍ය සේවකයින් සේවයට පැමිණීම සීමා කිරීම තුළ ඉන්ධන අර්බුදයට යම් සහනයක් අපේක්ෂා කළ හැකි බවයි. තත්ත්වය යම් දුරකට සමනය වන තුරු අවශ්‍යතා මත සේවකයින් සේවයට කැදවීමට යෝජනා කරන බවද ඇගමැතිවරයා අවධාරණය කර තිබිණ.

    ඒ අනුව ඊයේ රාජ්‍ය පාරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් 10/2022 චක්‍රලේඛය නිකුත් කරන්නේ රාජ්‍ය සේවකයින් සේවයට කැදවීම සීමා කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට කරුණු අවධාරණය කරමිනි. ඉන්ධන ගැටළුව සහ පොදු ප්‍රවාහන සේවා අඩපණ වීමත්, එම තත්ත්වයන් තුළ සේවයට වාර්තා කිරීමේදී ඇති වන අපහසුතාවන්ද සැලකිල්ලට ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා පැහැදිලිව සදහන් කර තිබේ.

    10/2022 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය

    කෙසේ වෙතත් මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය ඉතා ශෝචනීයය. බහුතරයක් රාජ්‍ය ආයතන තුළ මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක නොවීම ඊට හේතුවයි. කැබිනට් මණ්ඩල තීරණයකට අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ්‍ය විසින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයට අනුව අමාත්‍යංශ ‌ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් කටයුතු නොකරන්නේ ඇයි ? සමාජය විමසන කාරණය මෙයයි.

    ජනපති, අගමැති ඇතුළු පාලකයින් කවුරුන් වුවද රට බරපතල ගැටළුවකට මුහුණ දී තිබේ. ඒ තත්ත්වය තුළ මහජනතාව බලවත් මානසික පීඩනයකටත් ආතතියටත් පත්ව සිටිති. දේශපාලකයින් එය අවබෝධ කරගැනීම කෙසේ වුවද නිලධාරීන් පවතින තත්ත්වය අවබෝධ කරගැනීම ඉතා වැදගත්ය. එහෙත් එවැනි තත්ත්වයක් දක්නට නැත.

    රටේම ලක්ෂ සංඛ්‍යාත ජනතාව පෝලිම්වලය. ගෑස්, ඉන්ධන පෝලිම් කෙටි වෙන බවක් තවමත් දක්නට නැත. එමෙන්ම ලැබෙන ආදායම මෙන් දෙගුණයක් වැය වන වෙළදපොලක් නිර්මාණය වී ඇති අතර, සාමාන්‍යයෙන් පවුලක ජීවන වියදම තෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. එහි නැවතුමක් හෝ තවමත් දක්නට නොමැත. රට වටේම මුහුදක් ඇති ලංකාවේ ජනතාවට මාළු කෑමට සිදුව ඇත්‌තේ ගිනි ගණන්වලටය.

    කුස ගින්නේ හඩන දරුවන් ගැන නිසි ගණනයක් නැත. එහෙත් මංදිර අහිමි දරුවන් ලක්ෂ ගණනක් කුස ගින්නේ සිටින බව නොරහසකි. මේවා දේශපාලකයින්ට හෝ රජයේ ඉහළ නිලධාරීන්ට තවමත් වැටහී නොමැති ගාණය. පෙනෙන්නට ඇත්තේද සිතන්නට වෙන්නේද එහෙමය.

    ඊයේ මෙන්ම අද දවසේ පොලිටික්ස් අපි බොහො තැන්වල ඇවිද ගියෙමු. එහිදී පොලිම්වලටද ගොඩවැදී ඔවුන්ගේ සුවදුක් විමසීමටද අපි අමතක නොකෙළෙමු.

    බෑනේ… අගමැති එකක් කියනවා… අපේ ලොක්කේ තව එකක් කියනවා… අපි ඔෆීස් ගියාට ඇත්තටම වැඩක් නෑ මල්ලි… මොකද අපිට කරන්න මේ කාලේ වැඩක් නෑ… චක්‍රලේඛ දැම්මට වැඩක් නෑ… අපේ ලොක්කෝ කියන්නේ නිවාඩු දෙන්න බෑ කියල.. අපි සෙට් එකක්ම ගිහින් මේ ගැන කතා කළා… ඒත් වැඩක් නෑ… අපේ ලොක්කොන්ට කොහෙද මල්ලි මේව තේරෙන්නේ… රජයේ ඉහළ ආයතනයක සේවය කරන මැදිවියේ සාමාන්‍ය නිලධාරියෙකු පවතින තත්ත්වය ගැන පැහැලිදි කළේ  එලෙසය.

    තවත් කෙනෙක් කීවේ දැං ඉන්න උන්ට වැඩකරන්න නොතේරෙන බවයි. කොම්පියුටරෙන් බලන්න කියවන්න පුළුවන් කාලෙක අපේ ලොක්කන්ට ප්‍රින්ට් කරල දෙන්න ඔන… එහෙම නැත්නම් බනිනවා… දැං ඇත්තටම මේ අපි කරන රස්සාව වුණත් පරණ තාලෙටනෙ යන්නේ… අලුත් කරන්න අපිට පුළුවන්… ඒත් මේ ඉන්න ලේකම්ලා එක්ක ඒව කරන්න බෑ…. අපි කාර්යාලෙට යනවට වඩා ගෙදර ඉදන් මේ වැඩ ටික හොදට කරන්න පුළුවන්… ඇත්ත ඒකයි… ඒත් නිලධාරීන්ට මේ දේ තේරෙන්නේ නෑ.. ඒක තමයි රටේ කරුමෙ… යැයි ඔහු පැවැසීය.

    මේ අතර අමාත්‍යංශ කිහිපයක සේවය කරන නිලධාරීන් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව උදාවිය. එහිදී බොහෝ දෙනෙකු අදහස් දැක්වීමට බියක් දැක්වූහ. ඔවුන් පැවැසූවේ දේශපාලන ත්‍රස්තවාදයට වඩා නිලධාරී ත්‍රස්තවාදය ඉතා බලවත් බවයි. එහෙත් ඒ ගැන තවමත් සාකච්ඡාවක් සිදුනොවන බව ඔවුන්ගේ අදහසයි.

    නිලධාරීනියන් දෙදෙනෙකු හමුවූයේ කොළඹ ප්‍රධාන නගරයකදීය. ඔවුන් කියා සිටියේ අනේ අපේ නම් දාන්න නම් එපා යනුවෙනි. දැං ලැබෙන්නේ 40000 ට අඩු පඩියක්. නම ගියොත් ඒකත් ඉවරයි…. කී එම සේවිකාවන් දෙදෙනාද මෙරට ප්‍රධාන අමාත්‍යංශයක සේවය කරන අයයි.

    ඔවුන් පවසන්නේ ඔෆීස් ඉන්නේ නිකම්මයි… මේ පවතින තත්ත්වය තුළ අපිට වැඩ කරන්න ප්‍රතිපාදන නෑ… ඉතිං පොඩි වැඩ ටිකත් තියෙන්නේ… වැඩ තියෙන කාලෙටනම් පැය 24 ත් මදි… දැන් එහෙම නෑ… ඒ නිසා දරුවන්ට පොත් ටිකක් බලන්න බුක්ෂොප් යනවා… නිකං ඉන්න එකේ එහෙම දෙයක් කරගත්තට කමක් නෑනේ ඉතිං… යැයි කියා ඔවුන් අප පසුකර යන්නට ගියෝය.

    ආරංචියේ හැටියට හා සේවකයින් පවසන පරිදි රාජ්‍ය සේවකයින් සීමා කිරීමට අදාල චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අඩපණ කිරීම අමාත්‍යංශවල ලොකු ලොක්කන්ගේ අදහස හා සැලසුම වී ඇති බවයි. එය එසේ සිදුවන්නේ අමාත්‍යංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජේෂ්ඨ සහකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් සහ ඊට සමාන්තර ශ්‍රේණි සදහා සියළු පහසුකම් ලැබී ඇති පසුබිමකයි.

    සාමාන්‍යයෙන් කොළඹ පිහිටි අමාත්‍යංශයක සේවය කරන ලේකම්වරයෙකුට මාසිකව ලැබෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 220 කි. අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් වෙත  ලීටර් 165 ක්ද ජේෂ්ඨ සහකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් වෙත ලිටර් 135 ක්ද වශයෙන් මාසිකව ඉන්ධන හිමිවේ. ඩීසල්ද පෙට්ට්‍රල්ද යන්න ඊට අදාල නැත. ඔනෑම වර්ගයකින් එම ඉන්ධන ප්‍රමාණය හිමිවේ.

    සාමාන්‍යයෙන් පෙට්ට්‍රල් ලීටරය රු. 117 ට තිබුණු කාලේ අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ තෙල් වෙනුවෙන් වැයකරන මුදල රු. 25740/- කි. කෙසේ වෙතත් අද වන විට පෙට්ට්‍රල් ලීටරයක මිල රු. 420 කි. ඒ අනුව අද අමාත්‍යංශ ලේකම්වරුයෙකුගේ ඉන්ධන දීමනාව මාසිකව රු. 92400/- කි. මේ කොළඹ සහ තදාසන්නයේ ගමන් කිරීම වෙනුවෙන් පමණකි. කොළඹින් පිට යන්නේ නම් ඒ වියදම්ද ඊට එකතු වේ. ඒ අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ වරප්‍රසාධය.

    ප්‍රශ්නය වන්නේ ඒවා භුක්ති විදීම නොවේ. අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු රාජ්‍ය සේවයට අතුලත් සෙසු සේවකයින් පිළිබදයි. ඔවුන්ගේ මාසික වැටුප ඉතා අවම මට්ටමක පවතී. ඔවුන් කරන සේවයට සුදුසු වැටුපක් හිමිවන්නේ නැත.

    එබැවින් රජය යම් සහනයක් ඔවුන් වෙනුවෙන් ලබාදී තිබේ. එනම් සීමා සහිතව හා අවශ්‍යතා මත සේවකයින් සේවා සදහා කැදවිමට ආයතන ප්‍රධානීන් වෙත අවසරය හා බලය ලබාදී තිබීමයි. දැන් ගැටළුව වී ඇත්තේ සමජය යහපත වෙනුවෙන් ඒ බලය ක්‍රියාත්මක නොකරන්නේ ඇයිද යන්නයි.

    සති කාලසටහනට අනුව සේවකයින් කැදවමින් ඊට සහය විමට අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන්ට ඇති බාධාව කුමක්ද ? ඊට තාම පිළිතුරක් නැත.

    සේවකයින් සීමා කිරීමේදී ඔවුන්ට නිවසේ සිට කළ හැකි වැඩ ප්‍රමාණයන් බෙදාදිය හැකිය. ඒ සදහා අයතනික කමිටුවක් පත්කළ හැකිය. එමෙන්ම එවැනි ක්‍රියාවලියක් තුළ ඉන්ධන කොපමණ ප්‍රමාණයක් ඉතිරි කළ හැකිද ? ආයතනික වියදම් කොතරම් අඩු කර ගත හැකිද ? වායුසමන යන්ත්‍ර කීයක් නම් අක්‍රීය කළ හැකිද?  මේ ආදී වශයෙන් බොහෝ දේ ඉතිරි කළ හැකි වුවද ඒ ගැන ආයතන ප්‍රධානීන්ට කල්පනාවක් ඇත්තේම නැද්ද ?

    සේවයට බාධාවක් නොවන ලෙස සේවකයින් සේවයට කැදවීමට බලය ලබාදීම තුළ සිය සේවා පවත්වාගෙන යාමටද බාධාවක් ඇති වන්නේ නැන. එමෙන්ම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා අදාල චක්‍රලේඛයෙන් අවධාරණය කර ඇති තවත් කාරණයක් වන්නේ, රාජ්‍ය වියදම් කළමනාකරණය කරගැනීම සහ විදුලි පරිභෝජනය අවම කරගැනීම වෙනුවෙන් මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛය සම්බන්ධයෙන්ද අවධානය යොමුකරන ලෙසයි.

    කෙසේ වෙතත් පෙනෙන්නට නම් කිසිවක් සිදුවන්නේ නැත. මේ කරන්නේ කුමක්දැයි වහාම පැහැදිලි කරගත යුතුය. එය අගමැතිවරයාගේ මූලික අවධානය යොමුවිය යුතු කාරුණකි.

    මේ අතර නිවසේ නැවැතීමට අවස්ථාවක් හිමි වුවහොත් සේවක ප්‍රජාවද සිය වගකිම් නිසි ලෙස වගකීමේන් ආයතන ප්‍රධානීන් වෙත ඉටුකර දීමට බැදී සිටිය යුතුය.

    පවතින ආර්ථික අහේනිය සහ ඒ මත නිර්මාණය වී ඇති සමාජ ආතතිය සමනය කිරීම සියළු දෙනාගේ වගකීමයි. ඊට ජනතාව වඩාත් ඉවසීමෙන් මුහුණ දෙමින් සිටිති. ඒ තත්ත්වය වෙනස් කරගත යුතු නැත. එසේ වෙනස් වන්නට ඉඩ නොතැබීම වෙනුවෙන් වහාම අවශ්‍ය පියවර ගැනීම ආණ්ඩුවේද නිලධාරීන්ගේද වගකීමයි.

    මේ අතර අත්‍යාවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා සම්පත් හිගය මත වියදම් පියවා ගැනීම වෙනුවෙන් රාජ්‍ය සේවකයින් සේවයට කැදවීම සීමා කිරීම යන මැයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත යොමුකර ඇති ලිපියේද විශේෂ කාරණා කිහිපයක් සදහන් කර තිබේ. ආසන්නම සේවා ස්ථානයට ගොස් සේවය කිරීමට සේවකයින්ට පහසුකම් සැලසීමද ඊට ඇතුලත් යෝජනාවක්. කෙසේ වෙතත් ඒ කිසිවක් මේ දක්වා ක්‍රීයාත්මක කිරීමට නොහැකි වී තිබේ.

    අත්‍යාවශ්‍ය කොමසාරිස් – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත

    කෙසේ වෙතත් ආණ්ඩුවද අමාත්‍යංශ ලේකම්වරුන්ද තවත් පාර්ශවද මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සේවකයින් සේවයට කැදවීම සීමා කළ බව කියමින් මහ ලොකු කතා කියන්නේය. අවසානයේ ඒ කිසිවක් සිදුව නොමැති අතර, රාජයේ සේවකයින් රුපියල්වලින් වැඩිවන බස්ගාස්තු දිනෙන් දින ගණනය කරමින් සේවයට වාර්තා කරන්නෝය. තත්ත්වය මෙයයි.

    යම් තීරණයක් ක්‍රියාත්මක වීමටත් එහි ප්‍රතිපල ලැබීමටත් සියළු පාර්ශව අවබෝධයකින් ක්‍රියාකළ යුතුය. එසේ නොමැතිව කොතරම් තීන්දු තීරණ ගත්තද ප්‍රතිපලයක් අත්වන්නේ නැත. එදා ද දැන්ද සිදුවන්නේ එයමය. එහෙත් සමාජය ඉල්ලා සිටින්නේ දැඩිව අවධාරණය කරන්නේ දැන් සිට ඉදිරියට එවැන්නකට ඉඩ නොතබන ලෙසයි.

    ඒ පණිවිඩය තේරුම් ගැනීමේ පරාසය කොතරම්ද ඊට අදාලව රටේ අනාගතය හා සමාජ ක්‍රියාකාරීත්වය තීරණය වනු ඇත.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව