ලංකාවේ දැන් සිදුවී ඇති ආර්ථික කඩාවැටීම 1969 වසරේ කෝපි ආර්ථිකය කඩා වැටීමෙන් වූ තත්ත්වයටත් වඩා දරුණු තත්වයකට වර්තමානයේදී මුහුණ දීමට සිදුව ඇති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ලාංකිකයන්, තමා කලින් සඳහන් කළ අසීරුතම සති තුනක කාලය ගෙවමින් සිටින බවයි. ප්රවෘත්ති ආයතන ප්රධානීන් සමග අද පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව පැවැසුවා.
කෙසේ වෙතත් මෙම අසීරු කාලයෙන් පසුව එළැඹෙන කාලය ක්රම ක්රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි යන්න තමාගේ බලපොරොත්තුව බවද පැවැසූ අගමැතිවරයා කියා සිටියේ, ඉන්ධන ගැටළුව මේ මොහොතේ මුහුණ දීමට සිදුව ඇති අසීරුම ගැටළුව බවට පත්ව ඇති බවයි. පෙට්රල් නැවක් පැමිණීමට නියමිතව ඇත්තේ ජූලි 22 දා බවද පැවැසූ අගමැතිවරයා පෙන්වා දුන්නේ, ඉන්දියාව සමඟ සාකච්ඡා කොට ඊට පෙර ඉන්ධන නැවක් හෝ දෙකක් ගෙන්වා ගැනීමට උත්සාහ කරන බවයි.
ඩීසල් ලබා ගැනීමට මුදල් තිබුනත් රුසියා – යුක්රේන අර්බුදය හේතුවෙන් ඒවා ගෙන්වා ගැනීමට නෞකා සොයා ගැනීම අසීරු වී ඇති බවද ඔහු පැවැසුවා.
මාස ගණනාවක සිට තෙල් නැව් ගෙන ඒමේදී සිදූව ඇති කළමනාකරණ දුර්වලතා තෙල් අර්බුදයට හේතු වී ඇතැයිද ඔහු පෙන්වා දෙනවා. අගමැතිවරයා පෙන්වා දුන් තවත් කාරණයක් වන්නේ ලංකාව සතුව ඇති ඩීසල් ප්රමාණය මෙට්රික් ටොන් එකොළොස් දහසකට හා පෙට්රල් මෙට්රික් ටොන් හත් දහසකට සීමා වී ඇති බවයි.