හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අලුත් ආකාරයේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අත්පත් කරගැනීම එහි පළමු අදියරයි. මේ වන විටත් එම වැඩපිළීවෙල ඉතා සාර්ථක මට්ටමකට ආසන්න වී ඇති බවද දේශපාලන ආරංචි පැවැසුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් පක්ෂයේ තීරණයට එරෙහිව යමින් ආණ්ඩුවේ ඇමැතිධුර ලබාගැනීම, පක්ෂ නායකත්වය විවේචනය කිරීම වැනි කාරණා එකී වැඩපිළිවෙලේම කොටසක් වන බවටද තොරතුරු වාර්තා වනවා. මෛත්‍රීගෙන් ඉවත්ව ඔහු අසාර්ථක නායකයෙකු බව පැවැසීමත්, ඒ මත පදනම්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බවට මතයක් නිර්මාණය කිරීමත් මේ යටතේ සිදුවන වැඩපිළිවෙලයි.
මේ අතර කුමාරතුංග මහත්මිය ජාත්‍යන්තර සහය ලබාගැනීමේ පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද, එම සාකච්ඡා වෙනුවෙන් ඇය මේ වන විටත් විදෙස්ගතව ඇති බවද දේශපාලන වාර්තා පෙන්වා දෙනවා. දේශපාලන වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබාගැනීම ඇගේ අරමුණ වී ඇතත්, ක්‍රියාකාරී දේශපාලනයට යළි නොපැමිණෙන බව ඇය සිය හිතවතුන් හමුවේ පවසා ඇතැයිද දේශපාලන තොරතුරු අනාවරණ කළා.
පවතින තත්ත්වය තුළ නව නායකත්වයක් බිහිකිරීම හා රටේ ගැටළු විසදම පාලන තන්ත්රයක් ඇති කිරීම වෙනුවෙන් නායකත්වය ලබාදීම සිය අපේක්ෂාව වන බව හිටපු ජනාධිපතිවරිය සිය හිතවතුන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. රට වෙනුවෙන් එම දායකත්වය ලබාදීම තම ඒකායන අරමුණ බවයි ඇය පවසා තිබෙන්නේ.