fbpx
More

    මිලියන 05 ක් බඩගින්නේ – ලංකාව පිළිබද විශේෂ වාර්තාවක්.

    Must read

    ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 22ක් හෙවත් මිලියන 05 ක පිරිසක් ආහාර අනාරක්ෂිතව සහ ආධාර අවශ්‍යව සිටින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා. ශ්‍රී ලංකාව පිළිබද නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ බොහෝ අඩු ආදායම්ලාභී පවුල් සඳහා එළවළු, පලතුරු සහ ප්‍රෝටීන් බහුල පෝෂ්‍යදායී ආහාර දැන් ලබා ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

    • මිලියන 5.7ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍යව ඇත
    • මිලියන 4.9ක ජනතාවකට ආහාර අනාරක්ෂිත බවක් ඇත
    • මිලියන 1.7ක ජනතාවකට මානුෂීය සහය ලබාදීමට ඉලක්ක කර ඇත
    • 2022 ජූනි-සැප්තැම්බර් සඳහා ප්‍රමුඛතා සැලැස්මක්

    ඉහත දැක්වෙන්නේ බීබීසී ලෝක සේවය ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබද පලකර ඇති වාර්තාවකින් උපුටාගන්නා ලද දත්ත කිහිපයක්.

    ඩොලර් මිලියන 130ක් වූ ශ්‍රී ලංකාවේ ආහාර ආනයනය මසකට ඩොලර් මිලියන 50 දක්වා පහත වැටී ඇති බවද බීබීසී වාර්තාවේ දැක්වෙනවා. මේ හේතුවෙන් ජනතාව පොෂ්‍යදායී ආහාර භාවිතයෙන් වැලැකී ඇති බවයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබෙන්නේ.

    දඹුල්ලේ එළවලු අළෙවිය 50% න් පහත වැටීම, සහල් අළෙවිය අඩුවීම වැනි කාරණා මත සැලකිය හැක්කේ මිනිසුන් අඩු පරිභෝජන රටාවකට හුරු වී ඇති බවයි. මේ අතර ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 45.1%හි සිට 2022 මැයි මාසය වන විට 58.0% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේ පැවති 23.9%හි සිට 2022 මැයි මාසය වන විට දී 34.2% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මෑතක සිදුකර ඇති සමීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ, පවුල්වලින් සියයට 86 ක් අඩුවෙන් ආහාර ගැනීමට පෙළඹී සිටින බවයි. අඩු පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීම සහ ආහාර වේල් සම්පූර්ණයෙන්ම අත්හැරීම වැනි තත්ත්වයන් ඉදිරියේදී අපේක්ෂා කළ හැකි බවද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබෙනවා. ගැබිනි මව්වරුන් දිනපතා පෝෂ්‍යදායී ආහාර අනුභව කළ යුතු වුවද පොදුවේ ගත් කළ එවැනි හැකියාවක් නොමැති බවයි අනාවරණ වී තිබෙන්නේ.

    මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලෝක ආහාර වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර ප්‍රමාණාත්මකව ඉහළ දැමීමටද සැලසුම් කරමින් සිටින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව