අමරිකාව යුක්රේනය වෙත දැවැන්ත යුධ ආධාරයක් ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසනවා. ආයුධ ඇතුළු යුධමය අවශ්‍යතා වෙනුවෙන් ඇමරිකාව යුක්රේනය වෙත මේ දක්වා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 06 ට අධිකයි.
රුසියාවට එරෙහිව යුධ වැදීම වෙනුවෙන් මෙතරම් මුදලක් යුධමය ආධාර ලෙස ලබාදීමේ ඇමරිකානු ක්‍රියාවලිය ලෝකයේ බොහෝ පාර්ශවවල විවේචනයටද ලක්ව තිබෙනවා. එම පාර්ශව පෙන්වා දී ඇත්තේ කිසියම් හෝ දෙපාර්ශවයක් අතර පවතින යුද්ධයක් තවදුරටත් පෝෂණය කිරීම දියුණු රටක ක්‍රියාකලාපය නොවිය යුතු බවයි.
එබැවින් මේ මොහොතේ ගැටුම් නිරාකරණය කර යුක්රේනයට සාමය උදා කිරීම වෙනුවෙන් වූ විශේෂ වැඩපිළිවෙලක් වෙත අවතීර්ණ විය යුතු බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.
මේ අතර අද වන විට ඇමරිකාව තවත් යුධ ආධාර තොගයක් යුක්රේනය වෙත පිටත් කර ඇති බවද විදෙස් වාර්තා සදහන් කළා. ඇමරිකානු ඩොලර් මිලියන 450 ක වටිනාකමක් සහිත එම යුධ ආධාර තොගයට අධි සංවේදී රොකට් පද්ධතියක්ද ඇතුලත් බව එම වාර්තා පවසනවා.