More

    බැඳුම්කර කොමිසමේදී මහේන්ද්‍රන්ට කටඋත්තර නැතිවෙයි

    Must read

    තම බෑණා වන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු හරහා අදහාගත නොහැකි තරම් අති විශාල ලාභ ලැබුණේ තමාත් රවි කරුණානායක ඇතුළු ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ සැලසුම් සහගත වැඩපිළිවෙළ නිසා බව රාජ්‍ය බැංකු ප්‍රධානීන් හෙළි කළ තොරතුරුවලින්ම තහවුරු වනවා නොවේ දැයි ඊයේ (09දා) මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙන් විමසා සිටියේය.

    ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීමට හේතු වූ කරුණු පිළිබඳ පිළිතුරු දෙන්නට විය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් එලෙස විමසා සිටියේ සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අසීමිත ලෙස ලාභ ලැබුණේ තමාගේ උදවු උපකාර මත නොවන බවට ඉදිරිපත්වූ වාචකයට ප්‍රතිචාර දක්වමිනි.

    එතෙකින් නොනැවතුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ලේඛන එකින් එක ඉදිරිපත් කරමින් අර්ජුන මහේන්ද්‍රන් පාලන සමය තුළ පැවැති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට වාසි හිමිවී ඇති ආකාරය පෙන්වා දුන් අතර ඒ බැව් පිළිගැනීමට මිස ඒ කිසිවකුත් ප්‍රතික්‍ෂේප කිරීමට අර්ජුන මහේන්ද්‍රන්ට නොහැකි විය.

    සේවක අර්ථසාධක අරමුදලේ භාණ්ඩාගාර ගනුදෙනු අංශයට අර්ජුන් ඇලෝසියස්ගේ අතවැසියකු වූ සමන් කුමාර නමැත්තා කිසිදු සුදුසුකමක් පවා නොමැතිව පත්කොට ගත්තේත්, එතැන් සිට එකී අරමුදලට පාඩුපිට පාඩු ගෙන දෙමින් බැඳුම්කර ගනුදෙනු සිදු කළේත් තමාගේ අනුදැනුම පමණක් නොව තමාගේ සම්පූර්ණ මෙහෙයවීම යටතේ නොවේ යැයි තහවුරු කරන්නට එකදු සාක්‍ෂියක් හෝ හැකි නම් ඉදිරිපත් කරන්නැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා මහේන්ද්‍රන් හට අභියෝගයක්ද ඉදිරිපත් කළේය.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සහීඩා බාරි මහත්මිය විසින් ඊට නිදසුන් ගණනාවක්ම මහ බැංකු ලේඛන මඟින්ම ඉදිරිපත් කරමින් කරුණු විමසද්දී හිටපු මහ බැංකු අධිපතිවරයාට ඒවා නොපිළිගෙන සිටීමට නොහැකි විය.

    එවන් එක් නිදසුනක් වූයේ, රුපියල් බිලියන 28ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවකදී (2015 ඔක්තෝබර් මස 02 දින) රුපියල් 100ක කොටස රුපියල් 110ක් බැගින් වන සේ මිලදී ගෙන ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එදිනම එම බැඳුම්කරයම රුපියල් 115ක් බැගින් වන සේ මිලකට සේවක අර්ථසාධක අරමුදලට අලෙවි කිරීමේ ගනුදෙනුවය.

    එවන්ම වූ ගනුදෙනු රාශියක් පිළිබඳ සහීඩා බාරී මහත්මිය අදාළ මහ බැංකු ලේඛන ඉදිරිපත් කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් කරුණු විමසුවාය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව