More

    මංගල – මෛත්‍රී හැප්පෙයි

    Must read

    මේ දිනවල මෙරට දේශපාලනය අතිශය උණුසුම් ය. ඒ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව හේතුවෙනි. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවිධ පක්ෂ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටී.
    විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද අගමැතිවරයා එජාප ඇමතිවරුන් පිරිසක් සමග ජනාධිපතිවරයා හමු වූ අතර එම හමුව ජනාධිපති නිළ නිවසේදී මීට පැය කිහිපයකට පෙර පැවැත්විණි. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් හා යහපාලන රජයේ අනාගතය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
    සාකච්ඡාව කෙමෙන් කෙමෙන් උණුසුම් වී ඇති අතර ඒ ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි.
    දෙමළ ජාතික සන්ධානයේ සහයෝගයෙන් විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට හැකියාවක් තිබෙන බව එජාප ඇමතිවරුන් බහුතරයකගේ මතය වී ඇති අතර එම හැකියාව සම්බන්ධයෙන් එජාප ඇමතිවරුන් ජනාධිපතිවරයා සමග පවසා තිබේ. ඉන් කලබලයට පත් වූ ජනාධිපතිවරයා කෙලින්ම අගමැතිවරයාට පවසා ඇත්තේ ‘දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අල්ලගෙන ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා’ කියා ය.
    අගමැතිවරයා ඊට පිළිතුරු දීමට පෙර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊට පිළිතුරු ලබා දී ඇත්තේ බොහෝ දෙනාට අමතක වී ඇති ඉතිහාසය ද ජනාධිපතිවරයාට සිහිපත් කරවමිනි.
    ‘TNA එකත් එක්ක ගේම් ගහපු නිසා තමයි අද ඔබතුමා ඔය පුටුවෙ ඉන්නෙ. ගොඩක් අයට දැන් ඒ ඉතිහාසය අමතක වෙලා, එහෙම නැත්තං අමතක කරලා. ඔබතුමා දිනුවෙ උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ බහුතර ඡන්ද නිසා. දෙමළ ජනතාව ඒ ගේම ගැහුවෙ නැත්තන් , TNA එක සහයෝගය දුන්නෙ නැත්තන් තාමත් මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති. එහෙම උනා නම් ඔබතුමා ඉන්නෙ කොහෙද කියලවත් හිතාගන්න බෑ.’
    තවදුරටත් කරුණු දක්වමින් සමරවීර මහතා, ‘එදා හොඳ වෙච්ච TNA එක ඇයි දැන් නරක වෙන්නෙ ?’ යනුවෙන් ජනාධිපතිවරයාගෙන් සෘජුවම විමසා තිබේ.
    කියන්න තියන දේ මූණට කියන මංගල ගැන හොඳින්ම දන්නා ජනාධිපතිවරයා, ‘හරි…හරි…. ඒවා අමතක වෙලා නෑ. TNA එක උදව් කළා තමයි. ඒත් ඒක වෙන කතාවක්. මේක වෙන කතාවක්’ යනුවෙන් පවසා හිමින් සීරුවේ එම සිද්ධිය යටපත් කර තිබේ. කෙසේ වෙතත් ඒ වෙන කතාව කුමක්දැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර නොමැති අතර ඒ කතාව දන්නේ ජනාධිපතිවරයා ම පමණි.

     

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article