More

    ලොකු මිනිස්සුන්ට බදු සහන.පොඩි මිනිස්සුන්ට බඩගින්න.

    Must read

    ගරු කතානායකතුමනි, අද මේ සභාවට පැමිණිලා යළිත් පාර්ලිමේන්තු ජීවිතයක් ආරම්භ කිරීමට අවස්ථාව ලැබීම ගැන මං විශේෂයෙන්ම මගේ සතුට ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව ඔබතුමාටත් අපේ සභානායක තුමාටත්, අගමැතිතුමාටත්, විපක්ෂ නායකතුමාටත්, අනිත් පක්ෂ නායකයන්ටත් මම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. අපේ බන්දුල ඇමතිතුමාගේ කතාවට ඇහුම්කන්දීමේදි මට එක දෙයක් මතක් උනා. ඔව් මේ ආණ්ඩුවෙන් බදු සහන ලබා දීලා තියෙනවා. ලොකු මිනිස්සුන්ට බදු සහන දුන්නා. පොඩි මිනිස්සුන්ට බඩගින්න දුන්නා.
    අද තියෙන තත්වය මොකක්ද කියලා බලමු. මට අතීතය පිළිබඳ වැඩිය කතා කරන්නට අවශ්‍ය නැහැ. 2019 මේ රටේ විදේශ විනිම සංචිතය තිබුණේ ඩොලර් කෝටි 700ක්. අද ඩොලර් කෝටි 400 ක ට අඩු වෙලා තියෙන්නේ.

    මීට අමතරව මට මතකයි මම උදය  ගම්මන්පිල ඇමතිතුමාගේ ප්‍රකාශයක් කියෙව්වා තෙල් සංස්ථාවේ තියෙන ණය, තෙල් සංස්ථාවට ඒ අවස්ථාව දුන්නේ නෑ ණය ගෙවන්න. ඒ මුදල් වෙන තැනකට ගත්තා. එතනත් තියෙනවා කෝටි 300 ක් විතර.  මේක අපේ සංඛ්‍යාලේඛන වලට එන්නේ නෑ. මේ දෙකම එකතු කරන්න. අනික අපිට හදිසියේ ගන්න තියෙන අපේ වාණිජ බැංකු. වාණිජ බැංකුවල අද ණය තියෙනවා. මේ එකක්වත් සංඛ්‍යාලේඛනය නෑ අද. මේක අපේ රටට බලපානවා.

    මේ මාසයේ අවසන් වෙනකොට ඩොලර් කෝටි 100 ක ණය ගෙවන්නට වෙලා තියෙනවා. තවත් කෝටි 200 විතර  තියෙනවා ගෙවන්නට. අපි කොහොමද මේවා ගෙවන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයෙන් කෝටි 78ක් ලැබෙයි කියලා. ඒක මේ අවුරුද්දේ ලැබෙයිද එන අවුරුද්ද ලැබෙයි කියලා අපි දන්නේ නෑ. ඒක ලැබෙනවා. SWAP එකෙන් තව කෝටි 40ක් විතර ලැබෙනවා. බංග්ලාදේශයෙන් කෝටි 20 ලැබෙනවා. මේකෙන් කොහොමද අපි මේ වැඩ වැඩ කටයුතු කරගෙන යන්නේ. මෙතන තියෙන්නේ අතීතය ගැන කතා කරන්නට නෙවෙයි. කතා කරන්නට ඕනේ මේකෙන් අපි ගොඩ එන්නේ කොහොමද කියල.  අපි විසඳුමක් හොයන්න ඕනේ. අවුරුදු දෙක තුනක් හෝ ඊට වඩා යන්නට පුළුවන්, සමහරු කියනවා අවුරුදු දහයක් කියලා. අපිට යම්කිසි විසඳුමක් සැලසුමක් තියෙන්නට ඕනේ.

    ආණ්ඩුව ඒක ඉදිරිපත් කරල නෑ. ඇමැතිතුමා කිව්වා මේක සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවේ වාරයක් ඇති කරන්න. මම එතුමා සමග සීයට සීයක් එකඟයි . ඒත් මොකක්ද ඔබතුමන්ලාගේ විසඳුම? කොයි මාර්ගයේ ද යන්නේ. මම නම් කියන්නේ අපට තියෙන එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආපහු ගනුදෙනු කිරීම.  ඔබතුමන්ලා එකඟ නැත්නම් ඒ විකල්පය මොකක්ද කියලා අපිට කියන්න.

    විකල්පයක් නොමැතිව සංඛ්‍යාලේඛන කතා කරන එකේ අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ අනික මෙතන අද තියෙනවා පොහොර ප්‍රශ්නය, අපට තියෙනවා තෙල් ප්‍රශ්නය, අධ්‍යාපන ප්‍රශ්න ගණනාවක් මේ රටේ තියෙනවා. මේ ඔක්කොම එකතුවෙලා පිපිරුණොත් මොකක්ද මේ රටට වෙන්නේ. ආණ්ඩුවක් නැති වෙනවා, පාර්ලිමේන්තුව නැති වෙනවා. අන්න ඒක මතක තියාගෙන අපිට අවස්ථාව දෙන්න මේ ගැන සාකච්ඡා කරන්නට.

    එමෙන්ම තව කාරණයක් සඳහන් කළ යුතුයි. මේකට පදනම වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම කොවිඩ් වසංගතය. මොකද්ද අපි කරලා තියෙන්නේ කොවිඩ් වසංගතය ගැන. මම මෙතැනට එන්න ඉස්සෙල්ලා  මගෙන් කොළඹ නගර සභාවේ නගරාධිපති ඉල්ලීමක් කළා අගමැතිතුමාට කියලා ලැබිලා තියෙන ඇස්ට්‍රාසෙනිකා වලින් කොටසක් දෙන්න කියලා. අර දෙවැනි වටේ ලබා දෙන්නට කියලා. මං ඒක මේ සභාවට ප්‍රකාශ කරනවා.

    අද මොකක්ද මේ වෙලා තියෙන්නේ. අපිට එකක් කියන්නට පුළුවන් පුළුවන් මේ කාර්ය සාධක බලකාය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. පටන් ගත්ත දා  ඉඳන් අද වෙනකම් මොකක්ද මේ කරන්නෙ. සෞඛ්‍යය ඇමතිතුමියගේ කතාවට ඇහුම්කන් දුන්නා නම් තේරෙයි මොකක්ද අපි කරන්නේ. මේ කාර්ය සාධක බළකායක් එක්ක ඉදිරියට යන්නට බැහැ. අසාර්ථක වෙලා තියෙන්නේ.

    අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕනි කැබිනට් මණ්ඩලයටයි. කැබිනට් මණ්ඩලයට වගකියන පාර්ලිමේන්තුවටයි. ව්‍යවස්තාවේ 3,4,43 වගන්තියෙන් මේ ආණ්ඩුව පාලනය කරන්නට පුළුවන් කැබිනට් මණ්ඩලයට පමණයි. අගමැතිතුමත්, මෙතන ඉන්නවා, ඇමතිවරුත් ඉන්නවා. ඔබතුමා බාරගන්න. ඔබතුමා වැරදි වුණොත් අපිට පුළුවන් මෙතනට ඇවිල්ල කෑ ගහන්න. අඩු තරමින් පෝස්ටර් හරි උස්සන්න. ඇයි මේක කැබිනට් මණ්ඩලයට භාර නොදෙන්නේ. අනික WH සංවිධානයේ විශේෂඥ වෙනම කණ්ඩායමක් තියෙනවා. ලංකාවේ ඒක නෑ. කොමිටියක් තියෙන්නෙ. ඒක බාර දීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්ට.

    හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. කොහොමද එතුමා මේ වැඩ කටයුතු කරන්නේ. ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිතුමාට නැත්නම් කැබිනට් මණ්ඩලයට පමණයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමතිවරුන්ගේ තත්ත්වය අනුව. ඇයි මේ බලතල ක්‍රියාත්මක නොවෙන්නේ. අපි කියන්නෙ ඒකෙ නායකත්වය ගන්න ව්‍යවස්ථාවෙන්. එතකොට අපිට පුළුවන් පාර්ලිමේන්තුව ඉඳන් ඒ ගැන කතා කරන්න. අනික ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී  රජයක කණ්ඩායම් තුනක් ඉන්නවා.

    දේශපාලන අධිකාරිය. ඒ තමයි කැබිනට් මණ්ඩලය, ජනාධිපති, අගමැති, කැබිනට් ඇමතිවරු. සිවිල් බලය ඒ තමයි ලේකම්වරුන්ගේ සිට පහළට. මිලිටරි බලය. හමුදාව යුද්දෙට යවන එක. අද මිලිටරි බලය අරගෙන දැන් සිදු වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම රට පාලනය කිරීම. ඒක කරන්නට බැහැ. ඒක වැරදි. ආයෝජන මණ්ඩලයේ සාකච්ඡාවට මුදල් ඇමතිතුමා ඉන්න තිබුණා. නැත්නම් රාජ්‍ය ඇමතිතුමා ඉන්න තිබුණා. ඒ මැද්දට ඇවිල්ල හමුදාපති කතා කරනවා. ඒක දැක්කම හිටපු අයත් ගියා. මට කිසිම ප්‍රශ්නයක් නෑ හමුදාපති එක්ක. එතුමා මං හොඳට ආශ්‍රය කරන, මට උදව් කරලා තියෙන කෙනෙක්. නමුත් මේ වැඩ කටයුත්ත කරන්න බැහැ. මේක හමුදාකරණයකට යන්නෙ.

    ඔබතුමාලා අරගන්නවා නම් කමක් නෑ. ජනතාව ඔබතුමන්ලාට ජනවරම දුන්න. ඒ ගැන අපිට විවාද කරන්නට බැහැ. නමුත් අපි ඔබතුමාට දොස් කියන්නේ මෙම ජනවරම යොදවන්නේ නැතුව අර්ධ හමුදාකරණයකට යනවා. ඒ බලතල භාර දෙනවා කියලා. අගමැතිතුමනි,  මම ඉල්ලනවා අපිට විවාදයක් දෙන්න. මේ ව්‍යවස්ථානුකූල ප්‍රශ්නය , පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්ඡා කරන්නට අවස්ථාව දෙන්න. මොකද අපේ දේශපාලන විරුද්ධවාදිකම් තිබුනට ව්‍යවස්ථාව අනුව කැබිනට් එක තමයි තීරණ ගන්න ඕන. ඒවා විවේචනය කරන්නට අපිට පුළුවන්. විශ්වාස භංග යෝජනා ගේන්න පුළුවන්. එහෙත් ඒක කරන්නෙ නැත්නම් මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා මම ඉල්ලනවා වෙලාවක් මේ කැබිනට් මණ්ඩලයේ බලතල අතහැරීමත්, ක්‍රියා නොකිරීමත් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත්, ජනවරම නැති කිරීම ගැනත් අපිට විවාදයක් ලබා දෙන්නට කියලා. මීට වඩා දීර්ඝ වශයෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. දෙපැත්තෙ සියලුම දෙනාට ස්තුති කරමින් අර කරුණු සමග සාකච්ඡා කරමු කියලා මගේ මිත්‍ර බන්දුල ගුණවර්ධන මැතිතුමාට ප්‍රකාශ කර සිටිනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව