More

    අද ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය.

    Must read

    ගෝලීය කොවිඩ් 19 අභියෝගය අභිමුව අපේ පාර්ලිමේන්තුවේ අනාගත දිශානතිය.

    අද ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනයයි. සෑම වසරකම ජූනි 30 වැනිදා ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය සැමරීමට ලොව අනෙකුත් රටවල් මෙන්ම ලොව ඉපැරණිතම ප්‍රජාතන්ත්‍රවාදයකට හිමිකම් පවසන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද අභිමානයෙන් යුතුව එක්වෙයි. එපමණක් නොව, 1931 දී සර්වජන ජන්ද බලය දිනාගත් රටක් ලෙස ලෝක ඉතිහාසය ට එක්වු ශ්‍රී ලංකාව 1960 ජූලි 21 වැනිදා සිය ජන්ද බලය භාවිත කරමින් තවත් ලෝක වාර්තාවකට දායක වූයේ මුළු මහත් ලෝක දේශපාලන ඉතිහාසයේ ම ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ මැතිනිය බලයට කැදවාගෙන ඒමට තරම් ප්‍රගතිශීලී පියවරක් වෙත යොමුවෙමිනි.

    අන් සෑම වසරක මෙන්ම මෙම ජූනි 30 වැනිදා ද ලෝක පාර්ලිමේන්තු දිනය සැමරෙනුයේ පිහිටුවාගන්න ලද ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 179ක සහභාගීත්වයෙන් 1889දී අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සාමාජිකයන්ගේ එකමුතුවෙනි. එම සංගමයේ මූලික අරමුණ වන්නේ සිය සාමාජිකයින් අතරෙහි , ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, වගකිවයුතු බව, සහයෝගීතාවය මෙන්ම ව්‍යවස්ථාදායක යන්හි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙන්ම තරුණ සහභාගිත්වය සවිබල ගැන්වීම ආදී තිරසර ඉලක්කයන් සුරැකීමට දායකත්වය සැපයීමයි.

    පුරවැසියන්ගේ ජන්දයේ බලයෙන් අප බහුතරයක් දෙනා නියෝජනය කරන පාර්ලිමේන්තුව නම් ශක්තිමත් ආයතනය මෙරට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තිරසර පදනමයි. මහජන නියෝජිතයන් ලෙස අප පෙනී සිටින්නේ ලාංකික ජනතාවගේ හඩ වෙනුවෙනි. එනයින්ම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙරට නීති සම්පාදනය, මූල්‍ය පාලනය, අධීක්ෂණය සහ විමර්ශනය සහ මහජන නියෝජනය සිදු කරන ප්‍රධාන ආයතනය වෙයි.

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව මෙරට නීති සම්පාදනය සහ සංශෝධනය අරබයා සිය මූලික වගකීම් ඉටුකිරීම‍ට ව්‍යවස්ථාදායක යට ඔබ පත් කර යවන මහජන නියෝජිතයන් හට පැවරෙයි. නිදර්ශනයකට පවතින කොවිඩ් 19 අර්බුදය හමුවේ නව නීති හා පනත් සම්පාදනය අවශ්‍ය යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සදහන් කෙරෙතත්, නීති කෙටුම්පත්කරණ ක්‍රියාවලිය ගැඹුරෙන් විමසා බලා සම්මත කර ගැනීමේ වගකීම පැවරෙනුයේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන නිතී සම්පත්දායකයන් වෙත සපුරා පැවරේ.

    මූල්‍ය පාලනය පිළිබඳ බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එකසිය හතළිස් අට වන ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මුදල් පිළිබඳ පූර්ණ බලතල පාර්ලිමේන්තුව සතු ය. අයවැය අනුමත කිරීම ඉන් ප්‍රධාන වේ. මෙරට සියලු අනාගත සැලසුම් කෙරෙහි බලපාන රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හා රජයේ ආර්ථික යෝජනා සියල්ලෙහි දිශානතිය තීරණය වන්නේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පූර්ණ වගකීම දරන පාර්ලිමේන්තුව මගිනි.

    විමර්ශන සහ අධීක්ෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වැඩි වැඩ කොටසක් ඉටු කරනු ලබන අංශයක් ලෙස කාරක සභා ක්‍රමය හෙවත් කුඩා පාර්ලිමේන්තු හඳුන්වා දිය හැකිය. එය ලෝකය පුරා පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු විසින් අනුදත් සාර්ථක ක්‍රමයකි. ව්‍යවස්ථා දායකයට ඔබ පත් කර එවන පාර්ලිමේන්තු නියෝජිතයින් මෙහිදී පක්ෂ භේදයෙන් තොරව දිගු කලක් ගත කරමින් සංවාද කරති. ඔවුන් පමණක් නොව , අදාළ ක්ෂේත්‍රයෙහි විශේෂඥයන් හා ජනමාධ්‍යවේදීන් වෙතද අපි අපේ කාරක සභාවන්හි දොරගුළු විවර කර ඇත්තෙමු .

    එපමණක් නොව, අපේ පාර්ලිමේන්තුව මහජන පරමාධිපත්‍යය නියෝජනය කරන නියෝජිතයින් 225කගේ සංයුතියෙන් යුතුව, මහජනතාවගේ මහජන අභිලාෂ සහ පරමාර්ථ නියෝජනය කරයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සභා ගර්භයේ සැලකිය යුතු කාලයක් වෙන් කරන්නේ මහජන ප්‍රශ්න වෙනුවෙනි. අග්‍රාමාත්‍යවරයාට හෝ අදාළ අමාත්‍යවරයාට එම ප්‍රශ්න යොමුකර පිළිතුරු ලබා ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් අප පාර්ලිමේන්තුව සතුය.
    එමෙන්ම, ලොව සෑම රටකම මෙන්ම අපේ පාර්ලිමේන්තු ව ද දේශීය මෙන්ම අන්තර්ජාතික මට්ටමේ දී ද සහයෝගය අවශ්‍ය ජන ප්‍රජාව වෙනුවෙන් සුහුරු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරයි. නිදර්ශනයකට , 2030 තිරසර සංවර්ධන ඉලක්ක සදහා අපද ඇතුළත් ව සියලු පාර්ලිමේන්තු කටයුතු සදහා ප්‍රවේශ වන ආකාරය දැක්විය හැකිය .

    ලෝකයේ සෙසු පාර්ලිමේන්තු සියල්ල අතරින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අතිශය සුවිශේෂී වන්නේ එහි ප්‍රජා සමීපස්ථ ස්වභාවය නිසාය. ලොව කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු ජෙෆ්රි බාවාගේ සැලසුම්කරණයක් වන අපේ පාර්ලිමේන්තුව පූර්ව කොවිඩ් අවධියේ දී දෙස් විදෙස් නරඹන්නන්ගෙන් පිරී ඉතිරී නොගිය දිනයක් මගේ දේශපාලන ඉතිහාසයෙහි මට මතක නැත. එසේ වුවද , අප සියලු දෙනා අනපේක්ෂිත ලෙස මුහුණ පෑ මේ වසංගතය ඉදිරියෙහි අප සියලු දෙනාටම සෞඛ්‍යය රෙගුලාසි වලට අනුකූලව-අගුළුදැමූ සමයන්හි හෝ සමාජ දුරස්ථභාවය රදවාගෙන හෝ කටයුතු කිරීමට සිදුව තිබේ. එක් පසෙකින් දුර බැහැර පාසලකින් හෝ ගම්මානයකින් පාර්ලිමේන්තුව දකින්නට එන සිසු දරුවන් හෝ වැඩිහිටියන් අපට මුණ නොගැසීම අඩුවකි. එනමුත්, වෙනදා මෙන් නොව අන්තර්ජාලය නවෝත්පාදනීය ලෙස නිර්මාණශීලිව යොදාගනිමින් අපට පාර්ලිමේන්තුවේ දිනපතා කටයුතු අඛණ්ඩව ,බාධාවකින් තොරව පවත්වාගෙන යන්නට ලැබීම ජයග්‍රහණයකි.

    මේ නිසා,තවමත් නූතන විද්‍යාව පවා නොහදුනන විනාශකාරී වසංගතයක් ඉදිරියේ, හදිසි තත්ත්වයන් හමුවේ අපේ පාර්ලිමේන්තුවේ භූමිකාව වඩාත් වැදගත් හා තීරණාත්මක බවට අප අවධාරණය කරන්නේ එහෙයිනි. අදට පමණක් නොව පශ්චාත් කොවිඩ් තත්තවයන්ටද රටක් වශයෙන් හැඩ හැඩගැසීම හැඩ ගැසීම සඳහා නීති සම්පාදනය හා වෙනත් ක්‍රියාකාරිත්ව මගින් නිසි දිශානතිය පෙන්වාදිය යුත්තේ පාර්ලිමේන්තුවයි.

    ඒ මාර්ගය පහසු එකක් නොවන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මගේ කියැවීමයි. එනමුත්, මා අදහන බුද්ධ දර්ශනය අනුව, ප්‍රජාව පීඩාවට පත් නොකර අපි මේ ගමන සාමුහිකව,අප්‍රමාදව යා යුතු වෙමු.එසේ වුවහොත්, නිසි කලට වැසි වසිනු ඇත, අස්වැන්න සරු වනු ඇත, අප සියලු දෙනා පක්ෂ පාට කුල ගොත් භේද නොතකා තැනිය යුතුයැ යි විශ්වාස කරන යහපත් දේශය ගොඩ නැංවිය හැකි දිනය නුදුරේදී උදාවන්නා වූ අනාගතයේ දිනකය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව