More

    ලේ බැංකුවට ලේ ඕනෑ

    Must read

    29 අගෝස්තු, 2021

     

    ද බොහෝ දෙනෙක් වෙළෙඳපොළේ කිරිපිටි හිඟය ගැන කතා කරති. ගෑස් හිඟය ගැන කතා කරති. එහෙත් ජීවිතයට ඇවැසි ලේ බිඳු නොමැතිව ලේ බිඳුවක් ඉල්ලා ජීවිතය යදින අය ගැන කවුරුත් කතා නොකරති. ලේ බැංකුවේ උද්ගත වී තිබෙන උග්‍ර ලේ හිඟය බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවන්නේ එය ඔවුන්ට ඍජුව බලනොපාන නිසා විය හැකිය.

     

    “සාමාන්‍යයෙන් දවසකට රුධිර ඒකක 1000ක් අවශ්‍ය වෙනවා. පිළිකා රෝගින්ට තැලසීමියා රෝගින්ට ලියුකේමියා රෝගින්ට අනිවාර්යයෙන් ලේ දෙන්න ඕනෑ. හදිසි අනතුරක් සිද්ධ වුණොත් ලේ දෙන්න ඕනෑ. ගැබිනි මව්වරුන්, ශල්‍යකර්මවලට භාජනය කරන අයට ලේ දෙන්න ඕනෑ. ඒනිසා රුධිර ඒකක 15,000ක සංචිතයක් අපි පවත්වා ගෙන යා යුතු වෙනවා. ඒත් දැන් අපි ළඟ තියෙන්නේ ඒකක 6000 – 7000ත් අතර ප්‍රමාණයක් විතරයි. ඒනිසයි අපි උග්‍ර ලේ හිඟයක් තිබෙනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි තැලසීමියා රෝගියකුට ලේ පයින්ට් 4ක් දෙනවා. ඒත් දැන් දෙන්නේ ලේ පයින්ට් 1යි. තැලසීමියා රෝගීන්ට ලේ නැතිව ජීවත් වෙන්න බැහැ. අපිට ලේ පයින්ට් 4ක් දෙන්න විදිහක් නැති නිසා ඒ අය දැන් සුමානෙකට සැරයක් ලේ ගන්න රෝහල්වලට එනවා“ යනුවෙන් පැවසුවේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය පවිත්‍රා ආරේවත්ත ය.

    ලංකාවේ වාර්ෂික රුධිර අවශ්‍යතාව රුධිර ඒකක හාරලක්ෂ පනස් දහසකි. (4,50,000). ජාතික රුධිර අවශ්‍යතාව සපුරා ගැනීමේ ක්‍රම 2ක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ ජංගම කඳවුරු මගින් රුධිරය සපයා ගැනීමයි. දෙවැනි ක්‍රමය වන්නේ ලේ බැංකු වෙත ස්වකැමැත්තෙන් ඉදිරිපත් වන අයගෙන් රුධිරය සපයා ගැනීමයි. වර්ෂයකට අවශ්‍ය රුධිර ඒකක 4,50,000න් රුධිර ඒකක 3,80,000ක් ලැබෙන්නේ ජංගමව පැවැත්වෙන ලේ දන්දීමේ කඳවුරු මඟිනි. එය 85%ක ප්‍රතිශතයකි. එනම් 15%ක් ලැබෙන්නේ ස්වකැමැත්තෙන් ඉදිරිපත් වන පරිත්‍යාගශීලීන්ගෙනි. ස්වකැමැත්තෙන් ඉදිරිපත් වන අයට කොළඹ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ රෝහල් තුළ ඇති ලේ බැංකුවලට පැමිණ ලේ දන්දීම සිදු කළ හැකිය. අද වන විට ලංකාව පුරා රෝහල් 105ක ලේ බැංකු පිහිටා තිබේ. පළාත් මට්ටමින් මධ්‍යස්ථාන 24ක් තිබේ.

    මේ කොයි ආකාරයට ලබා ගත්තත්, ලබා ගත් සැණින් අනික් අතට රෝගියාට රුධිරය ලබා දෙන්නේ නැත. එකතු කරගත් රුධිරය තුළ රෝග 5ක කාරක තිබේදැයි පරීක්ෂණයට භාජනය කෙරේ. එම පස් වැදෑරුම් රෝග වන්නේ හෙපටයිටිස් බී, හෙපටයිටිස් සී, HIV, මැලේරියාව සහ උපදංශ යන රෝග කාරකයන්ය.

    “අපි ලබා ගන්නා රුධිර සාම්පල්වල ආරක්ෂාව තහවුරු කළ පසුව ලොකු ක්‍රියාවලියකට භාජනය කරනවා. රතු රුධිරාණු, පට්ටිකා, සුදු රුධිරාණු, ප්ලාස්මාව ආදි වශයෙන් වෙන් කිරීමෙන් පසුවයි රෝගින්ගේ අවශ්‍යතාව අනුව රුධිරය සපයන්නේ. මේ විදිහට සකස් කර ගත් රුධිරය ගබඩා කර තබා ගත හැකි කාලසීමාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් රතු රුධිරාණු මාසයක් ගබඩා කර තබා ගන්න පුළුවන්. ඒත් පට්ටිකා තියා ගන්න පුළුවන් වෙන්නේ දින 5යි. සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 80 යටතේ ගබඩා කළොත් අවුරුදු 10ක් වුණත් තබාගන්න පුළුවන්. ඒත් ඒකට ලොකු වියදමක් යනවා. ඒනිසා ඒ දියුණු තාක්ෂණය තවමත් ලංකාවේ නැහැ. කොවිඩ් වසංගතය සමඟ රුධිර හිඟයක් මතු වුණේ රුධිරය සපයා ගැනීමේ ගැටලු මතු වූ නිසයි.“ යනුවෙන් ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේය.

    කොවිඩ් පළමු රැල්ල මතු වුණු වකවානුවේ මාස 3ක් පමණ මුළු රටම වසා තිබූ බැවින් රුධිර සංචිත ප්‍රමාණය 4000 දක්වා පහත බැස තිබේ. කොවිඩ් දෙවැනි රැල්ලේදී රුධිර සංචිත සම්බන්ධයෙන් ලොකු ගැටලුවකට මුහුණ නොදුන්නත් කොවිඩ් තුන්වැනි රැල්ලත් සමඟ නැවතත් උග්‍ර අර්බුදයකට මුහුණ දී තිබේ.

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර ලේ දන්දීමේ කඳවුරු පැවැත්වීමට අවසර ඇතත් මේ වන විට ලේ දන්දීමේ කඳවුරු පැවැත්වෙන්නේ ඉතා අල්ප වශයෙනි. ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කිරීමේදී අත් සේදීමට පහසුකම් සැලසීම, විෂබීජනාශක දියර තැබීම, උෂ්ණත්වය පරික්ෂා කිරීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එක්වරකට 5 දෙනකු බැගින් ගෙන්වා ගත යුතුය. ඔවුන්ව මීටරයක පරතරයකින් රඳවා ගත යුතුය. සාමාන්‍යයෙන් ලේ දන්දීමේ කඳවුරකට 300 – 400 අතර පිරිසක් සහභාගි වුවත් කොවිඩ් වසංගතය හමුවේ දිනකට සහභාගි කරවා ගත හැක්කේ උපරිමව 50 දෙනකු පමණි. එමෙන්ම ලේ පරිත්‍යාග කිරීමට පැමිණෙන අය උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගවලින් පෙළෙන්නේද, විදෙස්ගතව සිට පැමිණි අයෙකු ද, කොවිඩ් රෝගියකුගේ ආශ්‍රිතයෙක් ද යනුවෙන් විමසීමක් සිදුකෙරේ.“පවතින සෞඛ්‍ය නීති රෙගුලාසිවලට අවනතව අවදානම් අඩු ප්‍රදේශවල ලේ දන්දීමේ කඳවුරු කලින් පැවැත්වුවත් දැන් නම් කඳවුරු සංවිධානය කෙරෙන්නේ ම නැහැ. පසුගිය සතියක ලේ දන්දී‍මේ කඳවුරු 4ක් පැවැත්වුවා. ඒත් ඊටපස්සේ එකක්වත් නැහැ. ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කරන අයත් දින වෙන් කරගෙන ගිහින් පස්සේ කතා කරලා අවලංගු කරනවා. එක්කෝ ඒ ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය වැඩියි. නැතිනම් සංවිධානය කරන කෙනාගේ කවුරුහරි කොවිඩ් රෝගයට ගොදුරු වෙලා. හරිම බැරෑරුම් ප්‍රශ්නයක් තියෙන්නේ.“ යනුවෙන් පැවසුවේ විශේෂඥ වෛද්‍ය පවිත්‍රා ආරේවත්ත ය.

    නවීන තාක්ෂණයට අනුගත වෙමින් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කර තිබෙන්නේ ඊට විසඳුමක් වශයෙනි. ඒ NBTS.life යන වෙබ් පිටුව ඔස්සේ ලේ පරිත්‍යාග කිරීම සඳහා ලියාපදිංචි වූ විට ස්ථානය සහ වේලාව සඳහන් කරමින් පරිත්‍යාගශීලින්ට කෙටි පණිවිඩයක් මඟින් දැනුම්දීමය. මීට අමතරව 0115332154 දුරකතන අංකයට ඇමතූ විට ඔබ ලේ ලබාදීම සඳහා යායුතු ආසන්නතම ස්ථානය සහ වේලාව කෙටි පණිවිඩයකින් දැනුම් දෙනු ලැබේ. මෙසේ වේලාව වෙන් කරගෙන රුධිරය පරිත්‍යාග කිරීමට යෑමෙන් පිරිස සමඟ ගැවසෙන අවස්ථාව මග හරවා ගත හැකිය. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවකදි වුව ද මෙම කෙටි පණිවිඩය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය. එහෙත් මේ ආකාරයට දුරකතනය මඟින් වේලාව වෙන් කරගෙන පැමිණෙන්නේ ඉතා සුළු පිරිසකි.

    “ලේ බැංකුවකට එන එක ආරක්ෂිත ද කියලා සමහරුන්ගේ පුංචි සැකයක් තියෙනවා. ඒ නිසාම තමයි බොහෝ රුධිර මධ්‍යස්ථාන සහ ලේ බැංකු රෝහල් පරිශ්‍රයෙන් පිට වාට්ටු සමඟ ගැටෙන්නේ නැති විදිහට පිහිටුවා තිබෙන්නේ. අලුතෙන් හදපු ලේ බැංකු ගොඩනැඟිලි ගේට්ටුව අසලම රෝහලෙන් පිට වෙනත් ගේට්ටුවකින් සම්බන්ධ වන ආකාරයටයි හදලා තියෙන්නේ. කොළඹ මහ රෝහල, රාගම, කුරුණෑගල, අනුරාධපුර, මහරගම ඒකට උදාහරණ හැටියට පෙන්වන්න පුළුවන්. නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය සහ කඹුරුගමුවෙ දකුණු රුධිර මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ රෝහලක නොවෙයි. ඒනිසා බය නැතිව ඇවිත් ලේ දන්දෙන්න පුළුවන්.“ යනුවෙන් පැහැදිලි කළේ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය පවිත්‍රා ආරේවත්ත ය.

    රුධිරය පරිත්‍යාග කිරීමේදී එය මාස 4කට වරක් සිදු කළ හැකිය. මාස 3ක් 4ක් වැනි කාලයක් දී තිබෙන්නේ රුධිර සෛල සහ ප්ලාස්මාව නිපදවීමට සහ ශරීරයේ හිමොග්ලොබින් ප්‍රමාණය නැවත වර්ධනය කිරීම සඳහා ය. වෙනත් රටවල ජනයාගේ ශරීර ස්වාභාවය අනුව මෙය වෙනස් වුවත් ආසියාතික රටවල ඒ සඳහා දින 120ක කාල පරාසයක් තබා ඇත්තේ රුධිර දායකයාගේ ශරීර සෞඛ්‍ය ගැන සිතා බැලීමෙනි.

     

    රුධිරය පරිත්‍යාග කිරීමේදී රුධිර දායකයකු වීම සඳහා මූලික සුදුසුකම් කීපයක් සපුරාලිය යුතුය. ඒවා නම්,

    වයස අවු: 18 – 60ත් අතර පුද්ගලයකු වීම. (ප්‍රථම වරට පරිත්‍යාග කරන්නකු නම් වයස අවු: 55 ලෙස සලකනු ලැබේ.)

    බර කිලෝග්‍රෑම් 50ට වඩා වැඩි විය යුතුය.

    හිමොග්ලොබින් ප්‍රමාණය රුධිර ඩෙසී ලීටරයකට ග්‍රෑම් 12.5 (g/dl) විය යුතුය.

    රුධිරය පරිත්‍යාග කළ හැකි කාල පරාසය මාස 4ක් විය යුතුය.

     

    “කොවිඩ් ව්‍යාප්තිය එක්ක සූදානම් කර තිබූ ශල්‍යකර්ම කල් දැම්මා. ලොක් ඩවුන් කාලයේ හදිසි අනතුරු අඩු වුණා. ඒනිසා රුධිර අවශ්‍යතාව යම් මට්ටමකට පහත වැටුණා. ඒත් පිළිකා රෝගින්ට ලේ දීම අනිවාර්යයි. ලියුකේමියා රෝගින්ට ලේ අත්‍යවශ්‍යයි. ඔවුන් ජීවත් වෙන්නේ රුධිර පරිත්‍යාගශීලින්ගේ ලේ බින්දුවෙන්. ඒත් අද ලේ අනිවාර්යයෙන් ලබා දිය යුතු අයටවත් දෙන්න අපි ළඟ තියන රුධිර සංචිත ප්‍රමාණවත් නැහැ.“ යනුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේය. මෙහිදී ඕනෑම කොවිඩ් 19 එන්නතක් ලබාගෙන දින 07කට පසු ලේ පරිත්‍යාග කළ හැකි බව අවධාරණය කිරීමට ද අමතක කළේ නැත.

    “සමහරුන්ගේ වැරදි මතයක් තියෙනවා ලේ දුන්නාම මහත් වෙනවා කියලා. ලේ දන් දුන්නාට පස්සේ දීපු ලේ ටික හැදෙන්න හොඳට කන්න බොන්න ඕනෑ කියලා. එය වැරදි අදහසක්. රුධිරය පරිත්‍යාග කළාම අපි ඒ අයට කියනවා හොඳින් ජලය පානය කරන්න කියලා. ඒකට හේතුව තමයි අපේ ශරීරයෙන් එක්වරම ඉවත්වන රුධිරය පරිමාව පාලනය කර ගැනීම.

    එහෙම නැතිනම් සුළු ක්ලාන්ත ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ මොන දේ වුණත් අපේ ශරීරයේ සාමාන්‍ය පරිදි රුධිරයේ නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. ඒ සඳහා අමතර කෑම බීම අවශ්‍ය වෙන්නේ නැහැ.“ යනුවෙන් විශේෂඥ වෛද්‍ය පවිත්‍රා ආරේවත්ත පැහැදිලි කළාය.

    ඔබ නිරෝගි අයෙක් නම්, රුධිරය පරිත්‍යාග කිරීමට මූලික සුදුසුකම් සපුරා ඇති නම් ඔබේ ලේ දන්දීම ගැන දෙවරක් සිතන්න. මන්ද ඔබේ ලේ බිඳු ලැබෙන තුරු ඇඳ උඩට වී ජීවිතය යදින රෝගින් පිරිසක් අපේ රටේ සිටින නිසා ය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව