More

    ධර්මසිරි, රංජිත් හා රාජා ද නික්ම ගියෝය

    Must read

    සැප්තැම්බර් 2, 2021

    ‘ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. ‘ යන දහම අපට සිහිගන්වමින් අපේ ප්‍රියතමයන් තිදෙනෙකු එකම සතියක වියෝව ගියහ. ඔවුන් තිදෙනා නම් චිත්‍රපට සම නිෂ්පාදකවරුන් වූ ඩබ්ලිව්. ඒ,ධර්මසිරි, රංජිත් ප්‍රේමරත්න, හා සරසවිය පුවත්පතේ ආරම්භයේ සිට ඡායාරූප ශිල්පියකුව සිටි රාජා පෙරේරා මේ තිදෙනාය. මේ තිදෙනාම හදවතින්ම සැමට හැකි හැම උපකාරයක්ම මානව දයාවෙන් යුතුව කළ අව්‍යාජ මිනිසුන්ය. මේ තිදෙනාම අංවක බවේ ත්‍රිමුර්තියක් පිළිබිමු කළ අව්‍යාජ , ප්‍රියංකර, සිනා රැල්ලක් දායාද කර ගෙන සිටි මිනිසුන්ය.

    තුන් වැනි කයිරෝ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ දී තුන් වැනි ලෝකයේ හොඳම චිත්‍රපටය ලෙස අක්නටොන් සම්මානය දිනා ගත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අහසින් පොළොවට චිත්‍රපටයේ සම නිෂ්පාදක වූ ඩබ්ලිව්. ඒ.ධර්මසිරි සිනමා කෙෂත්‍රයේ කලාකරුවන් හා සිනමා පත්‍රකලාවේදින්ගේ හිතමිතුරකු විය. තම මස්සිනා වූ ප්‍රකට ව්‍යාපාරික යූ.ඩබ්ලිව්. සුමතිපාල නිෂ්පාදනය කළ අහසින් පොළොවට චිත්‍රපටයේ පිටුපස සිටි නිහඬ චරිතය වූයේ ධර්මසිරිය. ධර්මසිරි ගේ සහායට ඩැනී වූයේ එච්.එම්.අබේසිංහය.

    තම මස්සිනා සිනමාවට යොමු කළේ ද ධර්මසිරිය. තම මිතුරන් වූ ලෙනින් මොරායස් හා චිත්‍රපට කතා රචක ආරියරත්න කහවිට සමඟ චිත්‍රපටයක් කිරිමට සුමතිපාල මහතාට යෝජනා කළේද ධර්මසිරිය. ‘

    පටන් ගන්න මම සල්ලි දෙන්නම්, ඉතුරුහරිය ධර්මෙ බලාගනිවි”

    සුමතිපාල මහතා ධරමසිරිට පැවරුවේය.චිත්‍රපටයේ නම උන්නත් දාහයි මළත් දාහයි ය. විජය, මාලීනි, ජෝ , ටෝනි ස්වර්ණා කහවිට, රෙක්ස් ප්‍රධාන චරිත රඟපෑහ. සරත් දසනායකගේ සංගීතයට ජෝතිපාල ,ඇන්ජලින් ගැයූ ගීත අතිශයින් ජනප්‍රිය විය. චිත්‍රපටය ද බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේය.

    ‘ධර්මේ . අපි සුමතිපාල මහත්තයාට කියලා සම්මාන ගන්න පුළුවන් කලාත්මක චිත්‍රපටයක් කරමු,. දිනක් ටෝනි රණසිංහ ධර්මසිරි ට යෝජනා කළේය.

    ටෝනි රණසිංහට, විජය කුමාරතුංගට, සුමතිපාල යුවළ බෙහෙවින් ආදරය කළහ.

    ‘අපි ලෙස්ටර් මහත්තයා එක්ක චිත්‍රපටයක් කරමු”යැයි ටෝනි කළ යෝජනාවට සුමතිපාල යුවළ එකඟ වූහ.

    ‘අහසින් පොළොවට”චිත්‍රපටය නිෂ්පාදනය විය. විජය, ටෝනි, ශ්‍රියාණී, වසන්ති, හෙන්රි ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටයට පළමුවැනි ජනාධිපති සම්මාන උලෙළේ මෙන්ම, ඕ.සී.අයි.සී සම්මාන ඇතුළු අන්තර්ජාතික සම්මානයක් හිමි කර ගත්තේය. ‘අහසින් පොළොවට චිත්‍රපටයේ ද සම නිෂ්පාදක වූයේ ධර්මසිරිය.

    ඉන්පසු තම සහෝදරිය වූ මිලිනා සුමතිපාල නිෂ්පාදනය කළ ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ ද පිටුපස සිටියේ ධර්මසිරි මල්ලීය. එතෙක් සරසවිය ඇතුළු ,ජනාධිපති, ඕ.සී.අයි.සී ඇතුළු සම්මාන වැඩිම ගණනක් දිනා ගත් එය ජනප්‍රියත්වයෙන් ඉහළටම ගියේය. මිලිනා සුමතිපාල නිෂ්පාදනය කළ දුවට මවක මිස චිත්‍රපටයේ ද ධර්මසිරි පිටුපසින් සිටියේය.

    කවුද මේ ධර්මසිරි ?

    වඩු ආරච්චිගේ ධර්මසිරි 1943 ජූනි මස 6 වැනි දා කොළඹ කොටහේනේ හිල් වීදියේ කිංස්ලි සිනමාහල ඉදිරිපිට ඇති පටු පාරේ නිවසක උපත ලැබීය. ඔහුගේ පියා කැටයම් කැපීමේ සියුම් පුවීණතා ඇති විශිෂ්ට කලාකරුවෙකි. හත් දෙනෙකු ගෙන් යුත් පවුලක හත්වැනියා ධර්මසිරි ය. විජේදාස, සිරිවර්ධන. මිලිනා, ලතා සුවිනීතා,සහ සුමිත්‍රා පවුලේ සෙසු පිරිසය. කොටහේන මධ්‍ය මහා විද්‍යාලයෙය් ඉගෙන ගත් ඔහු පාපන්දු ක්‍රීඩාවට ප්‍රවීණතාවක් දැක්වීය. මරදාන මධ්‍ය මහා විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩක ඒ.ඩී.සිරිසේන( ප්‍රවීණ පාපන්දු ක්‍රීඩක) ඔහුගේ හොඳම මිත්‍රයා විය. සිරිසේන නිසාම ඔහු නියෝජනය කළ සෝන්ඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩා කළ ධර්මසිඑි කකුලේ වූ ආබාධයක් හේතුවෙන් ක්‍රීඩාවෙන් සමුගත්තේය.

    ධර්මසිරි සිනමාවට ඇලුම් කලේ ගේ ඉදිරිපිට තිබුණු කිංස්ලි, ආමර් වීදියේ කැපිටෝල්, කොටහේනේ සෙල්ලමහල් හා ගෙයිටි සිනමාහල්වල සියලු චිත්‍රපට බැලීමෙනි. තම වැඩිමහල් සොහොයුරිය වූ මිලිනා- යූ.ඩබ්ලිව්.සුමතිපාල යුවළට ශක්තියක් වූයේ ද ඔහුය. ධර්මසිරි තම මස්සිනා මෙන්ම වාමවාදී දේශපාලනයට යොමුවු වෙකි. විජය හා චන්ද්‍රිකාගේ දේශපාලන ගමනේ ළඟින්ම සිටි සමීපතමයෙක් වූයේ ආදරණීය ධර්මේය. 1982 ජනාධිපතිවරණයේ දී හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට පක්ෂව ප්‍රචාරක කටයුතුවල දී හාල්පොත මුද්‍රණය කොට බෙදාහැරීමේ කාර්ය භාරයට හෙතෙම උර දුන්නේය. මේ නිසා සුමති පවුලට අයත් මුද්‍රණාලය මුද්‍රා තබමින් ධර්මේත්, ඔසී අබේගුණසේකර හා ප්‍රේමසිරි පෙරේරා ඇතුළු පිරිසක් එවකට පැවැති රජය මගින් සිරගත කෙරිණ. ධර්මසිරිගේ සමීපතමයන් වූයේ විජය, ටෝනි, ප්‍රේමසිරි, ඔසී යන පිරිසයි. ආරි කන්නන්ගර, සරත් කෝන්ගහගේ, ටී.එම්.සංඝදාස, සුන්ද්‍රා ජයවර්ධන, බන්දුල පද්මකුමාර. බුද්ධි කීර්තිසේන, පද්මසිරි කොඩිකාර, තිස්ස නාගොඩවිතා, මහාචාර්ය සුනිල් ආරියරත්න ද ධර්මසිරිගේ සමීපතම හිතමිතුරෝ වූහ. කලාකරුවන්ගේ හිතවතකු වූ ධර්මේ කලාව වෙනුවෙන් අනුග්‍රහ දැක්වූ අවස්ථා එමටය.

    ඩබ්ලිව්. ඒ.ධර්මසිරි 1973 ජූනි 07 වැනි දින මාලිනි ද සිල්වා මෙනෙවිය සමඟ විවාහ විය. ඔවුන්ට දරුවන් හතර දෙනෙකි. රුවිනි ධර්මසිරි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍ය්කෂවරියක් ලෙස සේවය කළාය. නුවන් ධර්මසිරි එංගලන්තයේ වෙසෙයි. අඛිත හා මතීෂ පුතුන් දෙදෙනා පියාගේ ව්‍යාපාරවලට සම්බන්ධව සිටිති.

    ධර්මේ නම් කලාකාමි සහෘදයා පසුගිය අගෝස්තු 17 වැනි දා අභාවප්‍රාප්ත විය.

    ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ රංජිත් ප්‍රේමරත්න කොස්තාපල් ප්‍රඥ්ඤසෝම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයකු වූ අතර ඔහුගේ බිරිද සුජාතා ප්‍රේමරත්න ද එයට එක්වූවාය. උදයකාන්තගේ සෙනෙහසේ ගීතය, චන්න පෙරේරා ගේ සඳ දිය දහර, ෂර්ලි පී. දෙලංකාවල ගේ කනේරු , ශ්‍රියාණි අමරසේනගේ ටෙලි නාට්‍ය කිහිපයක් ද ඔහු නිෂ්පාදනය කළේය.

    1945 ජූලි මස 3වැනි දින කුරුණෑගල උපන් වේහැල්ල ගමගේ නිමල් රංජිත් ප්‍රේමරත්න අධ්‍යාපනය ලැබුවේ කුරුණෑගල මලියදේව විදුහලෙනි. ඔහුගේ පියා වූ විජේසිරි ප්‍රේමරත්න කුරුණෑගල නගර සභාවේ උප නගරධිපතිරයකු ව සිටියේය. පිරිමි දරුවන් හතර දෙනෙකු හා ගැහැනු දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනියා රංජිත් ය. ඔවුන්ගේ මවිපියන්ගේ උපදෙස් පරිදි පවුලේ දරුවන් අට දෙනාම රාත්‍රි අටට බුදු කාමරයට ගොස් ශබ්ද නගා පිරිත් කීමේ සම්ප්‍රදායක් තිබිණ. පාසැල් යන කාලයේ සිටම රංජිත් හින්දි චිත්‍රපට නැරඹූ රසිකයකු විය.

    රංජිත්ගේ පවුලේ බඩපිස්සා වූයේ රංගන ශිල්පී රංගන ප්‍රේමරත්න පවසන්නේ තමා හින්දි චිත්‍රපට නැරඹීමට කැටුව යන්නේ රංජිත් හා සරත් යන දෙසොහොයුරන් යනුවෙනි. අය්යලා සමග ඔහු නැරඹු මුල්ම හින්දි චිත්‍රපටය ජංග්ලී ය. මියයන තෙක්ම රංජිත් පැරණි හින්දි ගීත රස විඳී ශ්‍රාවකයෙක් විය. පැරැණි හින්දි ගීත එකතුවක් ද ඔහු සතුව තිබිණ. හැකි සෑම දිනකම රංජිත් උදෑසන බයිසිකලයක නැඟී බෙල්ලන්විල රජ මහා විහාරය වන්දනා කිරිම සිරිතක් කර ගත්තේය.

    ඉගෙනීමෙන් පසු මැද පෙරදිග රැකියාවට ගිය රංජිත් පෙරළා ලංකාවට පැමිණ 1995 ඇරඹූ ලක්බිම පුවත්පතේ දැන්වීම් අංශයේ සහකාර කළමනාකරු වකු ලෙස සේවයට බැදුණේ තම බිරිද නිසාය. ඇය ලංකාවේ සුප්‍රකට වෙළෙඳ දැන්වීම් ඒජන්ස්වල විධායක තනතරු දැරූ සැමට සම මෙත් සිතින් උදව් උපකාර කළ කාරුණික කාන්තාවකි. ‘සුජාතා’ කි පමණින් වෙළෙඳ දැන්වීම් ආයතන ඒ අපේ සුජාතා නමින් හැදින්වීමට තරම් කීර්තිමත් නාමයක් ඇය ගොඩනගා සිටියාය. අතිශයෝක්තියකින් තොරව මා එය පවසන්නේ ‘ ඇඩ්වටයිසිං කලාවේ” ඇය විශේෂඥවරියක් ලෙස කැපී පෙණුන බව මා ඇසින් දැක ඇති බැව්න්ය. රංජිත්ගේ සෙවණෑල්ලක් මෙන් සිටි සුජාතා චිත්‍රපට හා ටෙලි නාට්‍ය සම නිෂ්පාදිකාවක් ලෙස ද ටෙලි නිර්මාණවේදින්ගේ සංසදයේ ක්‍රියාශිලි නිලධාරිනියක්ව සිටියාය. ඇය තවමත් ක්‍රියාශිලිය.

    සුජාතා ද කුරුණෑගල උපත ලබා කොළඹ විශාඛා විද්‍යාලයයේ ඉගෙනුම ලැබුවාය. ඇය විවාහයට පෙර සුජාතා පතිරණය. ඇගේ පියා අධිනීතිඥ ජයා පතිරණ , කුරුණෑගල පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රිවරයෙකු ලෙස 1961 සිට 1965 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ කටයුතු කළේය. සුජාතාගේ මව වූ රීටා වික්‍රමනායකගේ සොහොයුරන් වූයේ හිටපු අල්ලස් කොමසාරිස් ඉයන් වික්‍රමනායක හා ඩේලි නිවුස් කර්තෘ මණ්ඩලයේ සේවය කළ සිසිල් වික්‍රමනායකය. සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරියකුව සිටි මනෝ වික්‍රමනායක ඇගේ මාමා කෙනෙකු විය.

    රංජිත් හා සුජාතාට දූපුතුන් හතරදෙනෙකි. ලොකු පුතු ජිතේන්ද්‍ර අඩුඩාබියේ රජතුමාගේ පෞද්ගලික අහස් යානාවේ කාර්ය භාර නිලධාරියාය. දෙවැන් පුතු අභිධ්‍යය දෙරණ මාධ්‍ය ජාලයේ වෙළෙඳ කළමනාකරුය. දුවනිය හේෂානි හා බාල පුතු සොහාන් ඹිස්ට්‍රේලියාවේ පදිංචි ව සිටිති.

    සිනමාවට හා ටෙලි නාට්‍ය කලාවට අවංක ආදරයක් ඇති රංජිත් ප්‍රේමරත්නගේ අභාවය එම ක්ෂෙත්‍රයේ කලාකරුවන්ගේ ශෝකයට හේතුව තිබේ. මේ ලිපිය ලියන මා ද රංජිත් හා සුජාතා හඳුනාගන්නේ 1995 ලක්බිම පුවත්පත සමඟ අනුයුක්ත වූ පසුය. මගේම සොහොයුරෙකු මෙන් ආශ්‍රය කළ රංජිත්ගේ සමීප ඇසුර වඩා හැඩවූයේ අප දෙදෙනාම පැරැණි හින්දි රසියන් වීම නිසාය. එවැනි නිර්ව්‍යාජ අවංක කල්‍යාණ මිතුරෙකුගේ සමුගැනීම දුකකි.

    ලේක් හවුසියට 1965 වසරේ බැදුණු ඡායාරූප හිල්පි රාජා පෙරේරා ද පසුගිය අගෝස්තු 23 වැනි දා ජීවිතයෙන් සමුගත්තේය. රාජා යනු තාගේත් ආදරයට ලක් වූ නිතරම සිනා සපිරි මුහුණකින් සිටි සැහැල්ලු පුද්ගලයෙකි. තනිකඩයකු වූ රාජා සිළුමිණ හා ජනතා පත්‍රවල ඡායාරූප ශිල්පියා වුව ද ඔහු සරසවිය පුවත්පතේ ද සුහද මිත්‍රයා විය. 1970 සිට විශේෂාංග ලිවිමේ දී නළු නිළි ඡායාරූප ගැනීමට ගිය අවස්ථා රසවත් අත්දැකීම් අදත් අපට සිනාසෙමින් මතක් කළ හැකිය.

    රාජා රාම්සිං පෙරේරා 1943 ඔක්තෝබර් 24 වැනි දා උපන්නේ තිහාරියේ දීය. රාජා ගේ පියා සුප්‍රකට කවියකු වූ අභාවප්‍රාප්ත තිහාරියේ පීටර් පෙරේරා ය. රාජාගේ වැඩිමහල් සොහොයුරා වූ තිහාරියේ මානෙල් පෙරේරා කවියෙකි. දවස හා ලංකාදිප පුවත්පත්වල

    සේවය කළ මාධ්‍යවේදියෙකි. චිත්‍රපට ගීත රචකයෙකි. ඔහු වහල් දූපත (1968) චිත්‍රපටය සඳහා රචනා කළ ‘මද සීත නළරැල්ල දැඟලිල්ල පා ගීතය අතිශයින්ම ජනප්‍රිය විය. මානෙල් ගේ පුත්‍රයා කලක් සරසවිය පුවත්පතේ සේවය කළ අසංක දේවමිත්‍ර පෙරේරා ය. ඔහු දැන් අරුණ පුවත්පතේ මාධ්‍යවේදියකු වෙයි.

    වරක් සරසවිය පුවත්පත සඳහා විශේෂාංගයක් ලිවිමට ජා ඇල දෙහියාගතේ පදිංචි සිටි ප්‍රවීණ සංගීතඥ සුනිල් ශාන්ත හමුවීමට 1977 වසරේ මා ගිය ගමනේ කැමරා ශිල්පියා වූයේ රාජා ය. කුකුල් කූඩුවකට සමාන පුංචි කාමරයක අබලන් වූ රේඩියෝවක් අලුත්වැඩියා කරමින් සිටි සුනිල් සාන්තයන් අපට මෙසේ කීවේය.

    ‘ මේ ගෙදර ඉඳගන්න පුටු නැහැ. ඔය බූරු ඇඳේන් ඉදගන්න. මේ රේඩියෝ එක ගෙනියන්න අයිතිකාරයා දැන් එනවා. මට තව විනාඩි 10 ක්දෙන්න. ඔය අපි නිදා ගන්න හැටි තමයි. මමයි පුතාලයි නිදා ගන්නේ ඔතන. අර පුංචි කාමරේ නෝනයි දුවයි නිදා ගන්නේ. මගේ පුතාල පාඩම් කරන්නේ ඔතැන” අපි වාඩී වී සිටින බූරු ඇදට නෙත් යොමා සුනිල් සාන්ත කීවේය.

    පින්තූරයක් ගත්තට කමක් නැද්ද සුනිල් මහත්තයා” රාජා පෙරේරා විදුලි බුබුලක් ප්ලෑස් එකට සවි කරගන්නා ගමන් ඇසීය.

    ‘කමක් නැහැ. මගේ පුංචි මාලිගාව රටටම පෙන්වන්න එපායැ” සුනිලුන් සිනාසෙමින් කීවේය.

    පින්තූර ගත් පසු රාජාගෙන් කැමරාව ඉල්ලා ගත් සුනිලුන් එහි හැඩ වැඩ බැලුවේය.

    ‘මමත් ඉස්සර පින්තූර ගත්තා. ඒ කැමරාව මගේ අල්මාරියේ ඇති”

    එදා අපි ජා ඇල දෙහියාගාතයට ගියේ පත්‍ර බෙදාහරින කේම්බ්‍රිජ් වර්ගයේ රථයකය.

    කොළඹට යනකොට අපේ හොඳ පණ ගිහිල්ලා තියෙයි”

    කියා රියැදුරු ඩිංගිරි අප්පුහාමි මැසිවිලි නැඟිය. රෑ බෝවීමට ළංව තිබූ නිසා රාජා “ඩිංගිරි කියන කතාව ඇත්ත. අපි තුන්දෙනාම ඉස්සරහ සීට්වල. හැරෙන්නවත් ඉඩක් නෑ. බලන්නකෝ ඇඟ රත්වෙන තැනක්”යැයි පැවසුවේය. නව උත්තේජනයක් ලැබූ ඩිංගිරි ජා ඇල තැබෑරුමක් ළඟ රථය නතර කළේය.

    රාජා සුන්දර මිනිහෙකි. පර්සි ජයමාන්න, පී.බී.ඉලංගසිංහ, ලක්ෂ්මන් ජයවර්ධන, විමලනාත් දිසානායක, සුනිල් මාධව ප්‍රේමතිලක, සමඟ සිනාසෙමින් සිටින රාජා බෙනඩික්ට් දොඩම්පේගම මහතා ඇතුළු සිළුමිණ පිරිස සමඟ විශේෂාංග ලිවීමට උතුරු- නැගෙනහිර පළාත්වල සංචාරයට නැතුවම බැරි කැමරා සගයා විය.

    සරසවිය පුවත්පත ලක්ෂයකට වඩා වාර්තාගත අලෙවියක් ක් තැබූ 1972 වසරේ සරසවිය කර්තෘ විමලසිරි පෙ‌රේරා මහතාගේ බොරලස්ගමුවේ නිවසේ තිබූ සාදය මට අමතක නොවන්නකි. පර්සි , පී.බී. , විමලනාත්, ලක්ෂ්මන්, සෝමවීර සේනානායක, අර්නස්ට් වඩුගේ, බන්දු එස්. කොඩිකාර, රෙජී බුලත්සිංහල, මා ද ඇතුළුව ( නම් නොලියුවේ නම් සමාවන්න) පිරිස සමඟ ප්‍රිය සාදයේදී බෙනඩික්ට් දොඩම්පේගම මහතා රාජා ට මෙසේ කීවේය.

    ‘දැන් බලන්න රාජා ගේ තාත්තා ප්‍රසිද්ධ කවියෙක්. අය්යා මානෙල් කවියෙක්, සින්දුත් ලියනවා. රාජාටත් කවියක් කියන්න පුළුවන් ඇතිනේ”

    ‘තාත්තාලා කවියෝ උනාට හැමෝටම කවි කියන්න බෑ. දැන් බලන්න අපේ විමලසිරි පෙරේරා මහත්තයාගේ තාත්තා මහාකවි බොරැලැසස්ගමුවේ ජී.එච්. පෙරේරා කවියා. ඒ වුණාට එයාගේ පුතාට මට වගේම කවි ලියන්න බැහැනේ”

    රාජා ගේ මේ මුඛරි කතාවට සිනා හඬ පැතිර ගියේය. වඩාත් හයියෙන් සිනාසුණේ විමලසිරි පෙරේරා මහතාය.

    රාජා පෙරේරා ගැන තිබෙන රස කතා එමටය. ඇතැම් ඒවා පත්‍රයක ලිවිමට බැරි අවස්ථාවන්ය. වරක් නාට්‍ය නිෂ්පාදක ආර්.ආර්.සමරකෝන් සමඟ මඩු විත රස විඳී රාජා ගමනක් ගියේ කන්තෝරුවේ කාර් එකක බව මගේ මතකයයි. එය වෙනස් විය හැකිය. කෙසේ වෙතත් රථය පදවා ගෙන ගියේ රාජා ය. අතරමග දී සමරකෝන් පැවසුවේ සිගරට් පැකට් එක ඉවර වී ඇති බව ය.

    පදම්ව සිටි රාජා එකවරම රථය හැරෙව්වේය. ඒ කඩයක් ඇතුළටය. රථය කැෂියර් ළගට ගියේ එහි වූ වීදුරු අල්මාරියක් ද කුඩු පට්ටම් කරගෙය. රියැදුරු අසුනේ සිට ම මුදල් නෝට්ටුවක් කැෂියර්ට දිගු කළ රාජා ” මුදලාලි අපට සිගරට් පැකට් දෙකක් දෙන්නයැයි ඉල්ලුවේ “කඩහිමියා භයෙන් බිරාන්තව ඔළුවට අත තබා ගෙන සිටියදීය.

    ‘ මුදලාලි ගේ අලාභය මම ගෙවනවා. අපිට සිගරට් දෙන්නකෝ

    රාජා යළිත් පැවසුවේය. මේ කතාව මට පැවසුවේ ද සමරකෝන්ය.

    රාජා කැමරාවෙන් කළ හපන්කමක් කියා මේ ලිපිය අවසන් කරමි.

    මගේ මතකය හරි නම් එය ජනරජ දිනයයි. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජන හමුවක දී පරෙවියන් නිදහස් කළ අවස්ථාවක් අපූරු කෝණයකින් රාජා කැමරාවට හසු කර ගත්තේය. ඒ ඡායාරූපය සැබැවින්ම නිර්මාණාත්මකය. සිළුමිණ පත්‍රයේ මුල් පිටුවේ පළ වූ ඒ ඡායාරූපයට මැතිනිය කෙතරම් ඇලුම් කළා ද යත් එහි පිටපතක් රාජාගෙන් ඉල්ලා ගත්තාය. තිහාරියේ පීටර් පෙරේරා කවියා බණ්ඩාරනායක පවුල සමඟ අතීතයේ තිබූ හිතවත්කම නිසා එතුමිය රාජාව හඳුනාගෙන සිටියාය.

    ‘ මේ පින්තූය ගත්තේ අපේ රාජාදැයි ‘ සිළුමිණ මුල්පිටුවේ ඡායාරූපය දුටු සැණින් එතුමිය විමසා තිබුණාය.

    මා සරසවිය පුවත්පතට 2016 වසරේ දී ලියූ’යටගිය දවස ලිපි පෙළින් රාජා ගැන විටින් විට රස තොරතුරු ලියා තිබුණි. එවැනි අවස්ථාවක ඔහු දුරකතනයෙන් කතා කොට මෙසේ පැවසුවේය.

    ‘මචං රන්ජිත්, උඹ මගේ වේයන්ගොඩ ගෙදර වෙලාවක කතා කරලා වරෙන්, උදේ නාලා, සප්පායන් වෙලා, ගමේ අල බතල , මඤ්ඤොක්කා කාලා දවසක් අපේ පරණ කතා කියන්න”

    කිහිප වරක්ම රාජා විසින් කරන ලද මේ ඉල්ලීමට මා එක පයින් කැමැති වූවත් ඒ හැම විටම කාලය එදිරි වී ඇත.’ රාජා උඹ නැතිවුණත් මතක සුවඳ තවමමත් මැකී නැත”

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව