More

    මේක ඇහැට නොපෙනෙන ප්‍රශ්න ගෙනෙන වයිරසයක්

    Must read

    කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වෙමින් පවතී. වසංගත තත්ත්වය පාලනය සඳහා එන්නත්කරණය ඇතුළු විවිධ පිළියම් යොදන අවස්ථාවක, අප රට මුහුණ දෙන විවිධ සමාජ ගැටලු සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය මොහොමඩ් මහීෂ් මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

    – කොවිඩ් කියන්නෙ සංස්කෘතියට එරෙහි යුද්ධයක්
    – සිවිල් සංවිධානවලින් ලොකු සවියක් ගන්න පුළුවන්
    – රාජ්‍ය නිලධාරීන්ගෙනුත් මීට වැඩි සේවයක් ඕනෑ
    – මාර්ගගත ක්‍රමය හැම වෘත්තියකටම ගැළපෙන්නේ නෑ

    කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට දෛනික ආසාදිත සංඛ්‍යාවත්, මරණ සංඛ්‍යාවත් වැඩි වෙමින් පවතිනවා. සමාජය මුහුණ දී තිබෙන මේ අලුත් තත්ත්වය, ජනතාව පෙළෙන ප්‍රධාන සමාජ ගැටලු ඔබ විග්‍රහ කරන්නේ කොහොම ද?

    කාලයක් තිස්සේ මනුෂ්‍යයන් හුරු වෙලා සිටින සංස්කෘති ක්‍රමයට එරෙහිව තමයි මේ වයිරසය ක්‍රියාත්මක වන්නේ. කොවිඩ් කියන්නෙ කෙටියෙන් ම කිවුවොත් සංස්කෘතිවලට එරෙහි යුද්ධයක්. කොවිඩ් පතුරවන රෝග වාහකයා මනුෂ්‍යයා.

    අපේ සංස්කෘතියේ, ශිෂ්ටාචාරයේ, චාරිත්‍ර වාරිත්‍ර මඟින් හැමදාම අපට ඉගැන්නුවේ, අනෙකුත් මනුෂ්‍යයන් සමඟ සහයෝගයෙන් ජීවත් වීමටයි. අහල පහළ මනුෂ්‍යයන් සමඟ ගනුදෙනු කරන්න ඕනෑ. මඟුලට, මරණයට, දානෙට ගියත්, පන්සලට, පල්ලියට, කෝවිලට ගියත් අප ජීවත් වුණේ සබඳතා සමඟයි. මනුෂ්‍යයා සමාජ ජීවියෙක්. මේ කියන මූලික මනුෂ්‍ය පදනමට තමයි කොරෝනාවෙන් තර්ජනයක් එල්ල වෙලා තියෙන්නේ. කොවිඩ් රෝගයෙන් කියන්නේ, මිනිසාට මිනිසා සමඟ එලෙස කටයුතු කරන්න එපා කියලයි. ඒක හරියට මාළුවකුට වතුරින් ගොඩට ඇවිත් ඉන්න කියනවා වගෙ වැඩක්.

    මිනිසකුට ආහාර නැතිව ඉන්න පුළුවන්; ඒත් මිනිස් වාසය නැතුව ඉන්න අමාරුයි. සමහර මිනිස්සු ඉන්නවා උදේ නැඟිට්ට ගමන් ම හන්දියට යන්න ඕනෑ; නගරයට යන්න ඕනෑ; මිනිස්සු දකින්න, කතා කරන්න ඕනෑ. ඒක තමයි ඔවුන්ගේ ප්‍රියතම දේ. ඒත් ඒක කරන්න එපා කියද්දි, ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා.

    සමස්ත ලෝකයේ ම සංවර්ධන කටයුතු, විනෝද කටයුතු, චාරිත්‍ර වාරිත්‍ර මේ ඔක්කොම පදනම් වෙලා තියෙන්නේ මනුෂ්‍යයින්ගේ එකතුවත් එක්ක. අපේ ආගමෙත්, සංස්කෘතියෙත් කියපු දේ මේ විදියට අර්බුදයට ලක් වෙලා. මෙයින් කියැවෙන්නෙ, කොවිඩ් කියන්නෙ සංස්කෘතිවලට එරෙහි යුද්ධයක් කියන එකයි.

    මිනිසකුට මේ දේ කරන්න පුළුවන් ද? දරා ගන්න පුළුවන් ද? ඔහු තුළ සිටින සමාජ ජීවියා නමැති පදනම බිඳ වැටීම තමයි මෙහි තිබෙන ප්‍රධාන තර්ජනය. මෙය වර්තමාන සමාජය මුහුණ දෙන විශාල සමාජ ගැටලුවක ජන ජීවිතය නතර වුණාම, දෛනිකව රැකියාවල නිරත වූවන් අපහසුතාවට පත් වනවා. මේ තත්ත්වය මත බොහෝ දෙනකු පීඩාවට පත් වෙලා…

    මේ ප්‍රශ්නය ඊළඟට සම්බන්ධ වන්නෙ ‘ජීවිකාව’ කියන තැනටයි. ලෝකය ගත් විට, සොබදහමයි, මිනිසාගේ සංස්කෘතියයි අතර තමයි මේ ගැටුම තියෙන්නේ. මෙයට අමෙරිකාව ද? ජර්මනිය ද? ඉතාලිය ද? යුරෝපය ද? කියලා වෙනසක් නෑ. කවුරු හරි අමෙරිකන් ජාතිකයකුට වෙඩි තිබ්බොත්, එයාලා ඒ ජාතියට එරෙහිව යුද්ධ කරනවා. ඒ සඳහා නිෂේධ බලය, මිසයිල වගේ දේ ඔවුන්ට තිබෙනවා. ඒ විතරක් නොවෙයි, වරක් හිටපු අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිලෝමීටර් 250ක් දිගට මෙක්සිකෝව හරහා තාප්පයක් බැන්දා අප දැක්කා. ඒ, මෙක්සිකන් ජනයා එන එක වළක්වන්න.

    කොවිඩ් කියන්නෙ වයිරසයක්. ඒ වයිරසය වෙඩි තියලා, තාප්ප බැඳලා වළක්වන්න බැහැ. තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, ගෝලීයකරණය, නූතනත්වය ඒ සියල්ලක්ම වයිරසය ඉදිරියේ අසරණ වෙලා. මෙහෙම තියෙද්දි දියුණු රටවලත් ලක්ෂ ගණනකට රැකියා නැති වෙලා.

    ශ්‍රී ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක් එදිනෙදා හම්බ කර ගෙන ජීවත් වන අය. ත්‍රිරෝද රථ රියැදුරන් ලක්ෂ 10ක් විතර ඉන්නවා. නාට්ටාමි රැකියාව කරන බොහෝ පිරිසක් කොළඹ සිටිනවා. බස් කොන්දොස්තර, ධීවර, කුලී වැඩ කරන අය බොහෝ පිරිසක් සිටිනවා. ඒ අයට ඒ රස්සා මාර්ගගත ක්‍රමයට කරන්න බැහැ. මේ නිසා, සමස්ත ජන ජීවිතය නතර වුණාම අපට කිසි දෙයක් කරන්න බැරි වෙනවා.

    සමාජයක ක්‍රියාකාරිත්වය වන්නේ මිනිස්සු කියන එක ද ඔබ පවසන්නේ?

    ඔව්, සමාජයක ක්‍රියාකාරිත්වය සහ ආර්ථිකය යන දෙකම රැඳී තිබෙන්නේ ඔවුන් නිසයි. ඒත්, ප්‍රධාන ප්‍රශ්නය කොවිඩ් නිසා මිනිසුන්ගේ ජීවිකාව බිඳ වැටීමයි. රජයේ සේවකයන්ගේ වැටුප් ලැබුණත්, අමතර ආදායම් උපයා ගන්නා මාර්ග බිඳ වැටිලා. උදාහරණයක් හැටියට පෞද්ගලික පන්ති නතර වෙලා. ගුරුවරුන්ටත් එහෙමයි. වෛද්‍යවරුන්ටත් එහෙමයි. අධ්‍යාපනය නතර වෙලා. යම් තරමකට අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමය මඟින් ලබා දෙන්න පුළුවන්. ඒත් එහෙම කරනවා කියලා දරුවන්ගෙ කලා කටයුතු ප්‍රවර්ධනය කරන්න බැහැ.

    කොවිඩ් නිසා දරුවන්ගේ පෞරුෂය, අනන්‍යතාව හදා ගන්න එකත් ප්‍රශ්නයක් බවට පත් වෙලා නේද?

    කෙනකුගේ පෞරුෂය හෝ අනන්‍යතාව හැදෙන්නෙ තවත් මිනිසුන් එක්ක සම්බන්ධ වුණාමයි. සමාජය හරියටම කණ්ණාඩියක් වගේ. කණ්ණාඩිය ඉදිරියට ගියාම තමයි තමන් කවුරුද? කියලා පෙනෙන්නේ. දැන් ඒ කණ්ණාඩිය නැහැ. එනිසා එකිනෙකාට පෞරුෂය හෝ අනන්‍යතාව හඳුනා ගන්න විදිහක් නෑ.

    උදාහරණයක් හැටියට: ළමයි අවුරුදු එකහමාරක් තිස්සේ අනෙක් මනුෂ්‍යයන් සමඟ ගනුදෙනුවක් නෑ. මේකෙ ප්‍රතිඵලය කොහොම එකක් වෙයි දැයි හිතන්නත් බෑ. බොහෝ දෙනකු දැන් ගනුදෙනු කරන්නේ යන්ත්‍ර එක්ක. සන්නිවේදන මෙවලම් එක්ක. ඒකෙ ප්‍රතිඵලය කොයි විදිහේ විපාකයක් වෙයි ද? කියලා අපට වෙන ම පර්යේෂණ කරන්න වෙයි. බොහෝ දුරට ඔවුන් මානසිකව බිඳ වැටිලා ඉන්නේ.

    ළමයින්ගේ පෞරුෂය ගොඩනැඟෙන්නේ සමාජයයි, සොබාදහමයි එක්ක ගැටිලා. වෙලකට ගිහින් අනෙක් ළමයි සමඟ සරුංගලයක් යැවීම, බයිසිකලයක් පැදීම මඟින් සමාජය ගැන ඉගෙන ගන්නේ. ඒ දෙක ම දැන් නෑ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා ‘ළමයා මිනිසාගේ පියා’ කියලා; මිනිසා ළමයාගේ පියා නොවෙයි. ඒ මඟින් කියැවෙන්නේ, මනුෂ්‍යයාගේ ඔවුන්ගේ සමස්ත ජීවිතය හෝ පෞරුෂය සකස් කරන්නේ ළමා වියයි. ළමා කාලයේ ඉගෙන ගන්න, අත් දකින දේ තමයි ඔවුන් ඉදිරියට ගෙන යන්නේ. ඒත් දැන් ඒක නෑ. ළමයි එක ම තැන ඉන්නේ. ඒ නිසා ආපසු මේ ජීවිත හිටපු තැනට ගේන එක පහසු නෑ. ඒක අභියෝගයක්.

    මේ හේතුවෙන් පාසල් දරුවන්ගේ අනාගතයත් සමාජ ගැටලුවක් බවට පත් නොවේවි ද?

    එසේ වන්න පුළුවන්. පාසල් අධ්‍යාපනය කියන්නේ දැනුම, කුසලතා සහ ආකල්ප. දරුවන්ට යම් පමණකට මාර්ගගත ක්‍රමයෙන් දැනුම ලැබෙනවා. ඒත් කුසලතා සහ ආකල්ප වර්ධනය වෙන්නේ කොහොම ද? කියන එක ප්‍රශ්නයක්. ආකල්ප හා කුසලතා වර්ධනය විය යුත්තේ ළමයා අන් අය සමඟ ගනුදෙනු කිරීමෙන්. කොවිඩ් හමුවේ මේ දේ සිදු වන්නේ නැහැ.

    ගෙදර දී ළමයි කෑගහනවා. ඒ අය ගහ ගන්නවා; ආයෙත් යාළු වෙනවා. හැබැයි ඉස්කෝලෙදි එහෙම කරන්න බැහැ. පාසලේදි ගුරුවරයා කියන දේ අහන්න වෙනවා. ගෙදරදි හුරතලේට හැදුණත්, පාසලේදි ඔවුන්ට විනයානුකූලව හැදෙන්න වෙනවා. ඒ පරිසරය නැති වෙනකොට ඔවුන්ගේ පෞරුෂය හැදෙන්නේ නෑ.

    අනෙක් ලොකු ම ප්‍රශ්නය, ළමයින් අතුරින් යම් සැලකිය යුතු ප්‍රතිශතයක් ඊළඟට පාසල් එන්නේ නැති වෙයි. අඩු ආදායම් ලබන පවුල්වල දරුවන්ට එක්කෝ දුරකතනයක් නෑ. එහෙම නැත්නම් ‘සිග්නල්’ නෑ. සිග්නල් තිබුණත් ‘ඩේටා’ නෑ. ඔක්කොම තිබුණත් ගෙදර ශබ්දය නිසා මාර්ගගත ඉගෙනීම නීරස වෙනවා. නැති බැරි කෙනකුට ඉගෙන ගන්න තියෙන හොඳම අවස්ථාව නිදහස් අධ්‍යාපනය. මේ තත්ත්වය යටතේ ඒකත් ඇහිරෙනවා කියන්නේ කනගාටුදායක තත්ත්වයක්.

    කැඩුණු ගොඩනැඟිල්ලක් ආයෙමත් හදා ගන්න පුළුවන්. වැටුණු ආර්ථිකයක් නැවතත් ගොඩනඟා ගන්න පුළුවන්. ඒ වුණත් අධ්‍යාපනය අත්හැරුණු ළමයින් ආයෙත් ගොඩ ගන්න අමාරුයි. මාර්ගගත අධ්‍යාපන ක්‍රමයෙන් සමහර ළමයින්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වන නිසා, සමහර දුප්පත් ළමයි තාත්තත් එක්ක වැඩකට යනවා. තවත් සමහරු ත්‍රිරෝද රථයක. තවත් අය කුඹුරු වැඩක. අධ්‍යාපනය එපා වෙලා. සල්ලි අත ගැවසෙන විට හිත යන්නෙ පාසලට එන්න නොවෙයි. ඒ ළමයි ඉන්නෙ අවදානමක. අවශ්‍යයෙන්ම ඉගැන්විය යුත්තේ ඒ ළමයින්ටයි. ඒත් විවිධ හේතු නිසා, නොවෙන්නෙත් ඒකමයි. ඒ නිසා කොවිඩ් කියන්නේ ඇහැට පෙනෙන ප්‍රශ්නවලට වඩා, ඇහැට නොපෙනෙන ප්‍රශ්න ගෙනෙන වයිරසයක් කීවොත් නිවැරැදියි.

    කොරෝනා වයිරසය නිසා රෝගි වූ පවුල් දහස් ගණනක් මානසික පීඩාවට පත් වෙලා…

    ජාතියක් හැටියට අපට යුද්ධය, ගංවතුර, සුනාමිය වැනි ආපදා අපට දැන් පුරුදුයි. ඒත් අප පුරුදු වෙලා ඉන්නේ, ආපදාවක් වුණාට පස්සේ ඒක කළමනාකරණය කර ගන්නයි. ඒක රටේ තියෙන ප්‍රශ්නයක්. ඒත් එවැනි ආපදාවක් වීමට කලින් පූර්ව ආපදා කළමනාකරණයක් ගැන සැලසුම් කර ගන්නවා නම්, ඒක වැදගත්. යම් ආපදාවක් කළමනාකරණය කරද්දි, ඒක තාක්ෂණික වශයෙන්, භෞතික වශයෙන් කරනවාට වඩා වැදගත් වෙන්නේ, සමාජ, සංස්කෘතික වශයෙන් සමාජය සූදානම් කිරීමයි. ජනතාවත් මේ සංස්කෘතිය තේරුම් ගන්න ඕනෑ. ඒ කියන්නේ අවදානමත් සමඟ ජීවත් වෙන්නේ කොහොම ද? කියන දේ ඔවුන් තේරුම් ගත යුතුයි. ඒක හරියට සොහොන් බිමක් ළඟ ඉන්න මිනිස්සු ඒකට බය නැහැ වගේ. දුම්රිය මාර්ග දෙපස සමීපව ජීවත් වන අය දුම්රිය ළඟට ම එන තුරු ඊට බියක් දක්වන්නේ නැහැ වගේ. ටික කලක් යනකොට ඒවාට තියෙන බිය ක්‍රමයෙන් නැති වෙනවා. ඒක තමයි මිනිස් ස්වභාවය.

    සමාජය පෙළෙන මේ ගැටලුවලට, තාවකාලිකව හෝ පිළියමක් නැති ද?

    අපේ රටේ මිනිසුන් වේලක් ඇර වේලක් කාලා හිටියත් මැරෙන්නේ නැහැ; අහල පහළ කෙනකු හරි කන්න දෙනවා. ඒත් පාරට ගිහින් කොවිඩ් හදා ගත්තොත් මැරෙනවා. ඒ නිසා, සිවිල් සමාජය ශක්තිමත් කරලා, බිම් මට්ටමේ තිබෙන සමිති සමාගම් එක්ක ජනතාවට උදවු කරන්න රජයට හොඳ යන්ත්‍රණයක් තිබෙන්න ඕනෑ.

    අපේ රටේ සිවිල් සංවිධාන ශක්තිමත්. ඒවායින් ප්‍රයෝජන ගන්න ඕනෑ. ග්‍රාම නිලධාරි මට්ටමින් සිවිල් සමාජයට වගකීම දෙන්න ඕනෑ. ජනතාවට නිවැරැදි තොරතුරු දෙන්න ඕනෑ. රාජ්‍ය නිලධාරීන්ගෙන් මීට වැඩි සේවයක් ගැනීමට කටයුතු කරන්න ඕනෑ.

    බන්ධුල ගුණරත්න

    The article first published on dinamina.lk ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article