More

    වෛද්‍ය අනුමැතිය දුන් විගස සිසුන්ට ‘ෆයිසර්’ දීමට හැකියි

    Must read

    කුඩා ආර්ථිකය රැක ගන්න වගකීමෙන් තීරණ ගන්න

    වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර් එන්නත දීමට හැකියාව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (3) ප්‍රකාශ කළේය.

    ඒ අනුව වෛද්‍යවරුන්ගේ අනුමැතිය හිමි වන අදාළ වයස් කාණ්ඩවල පසුවන පාසල් සිසුන්ට එන්නත්කරණය කළ හැකි යැයිද ජනාධිපතිවරයා කීවේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (3) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. එන්නත්කරණයෙන් අත් කර ගත් සාර්ථකත්වය සමඟ නව සාමාන්‍යකරණ ක්‍රමවේදයට අනුගත වෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දුන්නේය.

    2020 මාස 3කට අධික කාලයක් රට වසා තැබීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට රටේ ආර්ථිකය ඍණ අගයක් ගනු ලැබිණ. කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස යථාර්ථය අවබෝධ කර ගනිමින් ආර්ථිකය ආරක්ෂා කර ගෙන ඉදිරියට යෑමට සියලු පාර්ශ්වයන් වගකීමෙන් තීරණ ගත යුතු බව රාජපක්ෂ මහතා පැවසීය. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද එන්නත්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය මත අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකි වීම ආර්ථිකය ලද විශාල අස්වැසිල්ලක් වූ බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය සඳහා විවෘත කෙරෙමින් පවතින හෙයින් ඊට සමගාමීව තීරණ ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. කොවිඩ් මර්දන වැඩසටහනට සමගාමීව සංචාරක මෙහෙයුම් ප්‍රවර්ධනයට ගත යුතු සෞඛ්‍ය නිර්දේශ කඩිනමින් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබිණ.

    අගමැති මහින්ද රාජපක්ෂ, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමැතිවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    නුවන් කොඩිකාර

    The article first published on dinamina.lk ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව