More

    කොවිඩ් මර්දන ජනපති වැඩපිළිවෙළට කෙන්යා ජනපතිගෙන් පැසසුම්

    Must read

    කොවිඩ් වසංගතය මර්දනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති පියවර සහ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා මහතා සිය ප්‍රසාදය පළ කළේය.

    දැනටමත් ජනතාවගෙන් සියයට 70කට එන්නත්කරණය කරමින් ක්‍රියාත්මක මේ ක්‍රමවත් වැඩසටහන සෙසු ජාතීන්ට ආදර්ශයට ගත හැකි බව කෙන්යානු ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා (Uhuru Muigai Kenyatta) ඊයේ (3) උදෑසන සුහද දුරකතන සංවාදයක නිරත වන අතරතුර උහුරු මුයිගයි කෙන්යාටා මහතා එසේ ප්‍රකාශ කර තිබේ.

    නායක දෙපළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්ධනය පිළිබඳ සතුට පළ කරමින් සහයෝගීතාව තවදුරටත් තර කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පාලනය කරමින් රෝගීන් සහ මරණ සංඛ්‍යාව හොඳින් කළමනාකරණය කර ගත හැකි වූ නමුත් මේ වසර මැද භාගයේදී නව කොවිඩ් ප්‍රභේද මතු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    ඉතිහාසයේ පටන් විවිධ අභියෝගවලට මුහුණ දී, නැඟී සිටීමේ හැකියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වසංගතයද පාලනය කර සාර්ථකව නැඟී සිටීමට හැකි බව සඳහන් කළේය.

    නායක දෙපළ ගෝලීය සහ කලාපීය කරුණු පිළිබඳ ද අදහස් හුවමාරු කර ගත්හ. හිටපු ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ තම සමීප සබඳතා සහිපත් කළ ජනාධිපති උහුරු කෙන්යාටා මහතා දෙරටේම ජනතාවගේ යහපත උදෙසා ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සමීපව කටයුතු කිරීමේ සිය අපේක්ෂාව පළ කළේය.

    නැඟෙනහිර අප්‍රිකාවේ ප්‍රධානතම රටක් වන කෙන්යාව ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ මිත්‍රත්වයෙන් කටයුතු කරන රටක් වන අතර, 2020 දී දෙරට අතර තානාපති සබඳතාවල පනස් වසර සම්පූර්ණ වූ අතර ආර්ථික, වෙළෙඳ, ආයෝජන සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව නව ඉහළ මට්ටමකට පිවිස ඇත.

    නුවන් කොඩිකාර

    The article first published on dinamina.lk ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව