More

    පොහොර කුමන්ත්‍රණ – මන්ත්‍රී පුටු මංකොල්ලය – රතන හිමියන්ට මැතිසබෙන් යන්නැයි දැඩි බලපෑම්.

    Must read

    පූජ්‍ය අතුරළියේ රතන හිමියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පාර්ශව රැසකින් බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. මාස 06 ක කාලයක් සදහා අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය උන්වහන්මේ විසින් ඉල්ලා ගත් බව සමාජය පිළිගෙන ඇති මතයයි.

    මාස 06 ක කාලයකින් මන්ත්‍රීධූරය භාරනොදීම හේතුවෙන් උන්වහන්සේ අපේ ජනබල පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපීමටද පසුගියදා එම පක්ෂය තීරණය කළා. එමෙන්ම උන්වහනසේගේ මන්ත්‍රීධූරය අහෝසි කරන ලෙස ද එම පක්ෂය මැතිවරණ කොමිෂමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු අදාල පාර්ශවද ඒ පිලිබද දැනුම්වත් කිරිමටයි එම පක්ෂය පියවර ගෙන තිබෙන්නේ.

    කෙසේ වෙතත් රතන හිමියන් මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට නම් නීතිමය ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ විය යුතු බව නීති විශාරදයින්ගේ මතයයි.

    එහෙත් පවතින තත්ත්වය තුළ උන්වහන්සේ නොගැලපෙන ක්‍රියාවක් සිදුකර ඇති බවත්, භික්ෂූන් වහන්සේ නමක් ලෙස මීට වඩා සර්ව සාධාරණ ලෙස කටයුතු කල යුතු බවත් බොහෝ පාර්ශව විසින් පෙන්වා දී තිබෙනවා. මේ තත්ත්වය තුළ හොදම දේ මන්ත්‍රීධූරයෙන් ඉවත්ව ඒ සදහා සුදුසුස්සෙකු පත්කර ගැනීමට අපේ ජනබල පක්ෂයට අවස්ථාව උදාකිරීම බව විද්වතුන් ඇතුළු බොහෝ දෙනෙකු අතුරලියේ රතන හිමියන්ට පෙන්වා දී ඇතැයිද දේශපාලන ආරංචි පවසනවා.

    එබැවින් නීතිමය ක්‍රියාවලියකින් තොරව වහාම මන්ත්‍රීධූරයෙන් ඉවත් වන ලෙස උන්වහන්සේට එල්ලවන බලපෑම් දිනෙන් දින දැඩි වෙමින් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    එමෙන්ම කාබනික පොහොර ව්‍යාපෘතිය අතුරලියේ රතන හිමියන්ගේ කුමන්ත්‍රණයක් වන බවටද අපේ ජනබල පක්ෂය ඊයේ චෝදනාවක් එල්ල කළා.

    එම පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩු අස්ථාවර කිරීම රතන හිමියන්ගේ සැලසුමක් වන බවයි. පසුගිය ඇතැම් ආණ්ඩුවලට මෙන්ම වර්තමාන රජයටද එම බලපෑමට නතුවීමට සිදු වී ඇතැයිද ‌කෘෂිකර්මය පිළිබද උපදෙස් ලබාදෙමින් වර්තමාන ආණ්ඩුව අර්බුදයකට යොමු කර ඇති බවද සුසන්ත කොඩිතුවක්කු මහතා පැවැසුවා.

    කාබනික පොහොර භාවිතය සදහා අනුගත විය යුතු විද්‍යාත්මක ක්‍රමවේද තිබියදී ඒ කිසියක් පිළිබද අවදානය යොමු නොකර එක්වරම කාබනික පොහොර ආදේශ කිරිමට යාම තුළ ගොවිජනතාව මෙන්ම රජයද සමස්ථ සමාජයද අර්බුදයක් වෙත යොමු වී ඇති බවද ඔහු අවධාරණය කළා.

    ඒ අනුව පොහොර සම්බන්ධයෙන් මතුවී ඇති අර්බුදයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවද අවධාරණය කළ කොඩිතුවක්කු මහතා පෙන්වා දුන්නේ අතුරලියේ රතන හිමියන්‌ගේ විද්‍යාත්මක නොවන උපදෙස් පිලිගැනීම තුළ කෘෂිකර්ම ඇමැතිවරයාද ජනාධිපතිවරයා ඇතුළු රජයද අර්බුදකාරී තත්ත්වයකට යොමු වී ඇති බවයි.

    මෙම කාරණයද රතන හිමියන්ට අවාසිසහගත ලෙස බලපාන කාරණයක් බවට පත්ව ඇති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව