More

    ලෝකයටම ආදර්ශයක් වූ දොඩම් වෙළෙන්දාට පද්ම ශ්‍රී සම්මානය.(video)

    Must read

    ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කුඩා ගම්මානයක දොඩම් වෙළෙන්දෙක් ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙය ලෝකයේම අවදානයට යොමු වූ කාරණයක්. ‘පද්ම ශ්‍රී’ යනු ඉන්දීය පුරවැසියකුට හිමිවන ඉහළම ගෞරව සම්මානය ලෙස සැලකෙන අතර, 66 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු වන හෙරේකාලා හජබ්බා වෙත මෙම සම්මානය හිමිවූයේ ඔහු දොඩම් විකුණා ලබන මුදලින් කුඩා දරුවන් වෙනුවෙන් මද්‍රාසා පාසලක් ඉදිකිරීමේ වික්‍රමාන්විතය ඇගයීමට ලක්කරමින්.

    ඔහු ජීවත් වූ ගම්මානයේ මුස්ලිම් පල්ලියට යාබදව ඉදිකළ මෙම පාසලේ සිසුන් ගණන මේ වන විට 28 සිට 175 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පාසල නඩත්තු කිරීම සහ දරුවන්ට ආහාර පාන සකස් කිරීම ඇතුළු සියළු ක්‍රියාවන් ‌ඔහු අතින්ම සිදුවීමද විශේෂත්වයක්.

    වසර ගණනක පටන්, හජබ්බාගේ ගම්මානයට පාසලක් ඉදිකරදීම සම්බන්ධයෙන් බලධාරීන් කිසිවකුගේ අවධානය යොමු නොවූ බවත්, ප්‍රධාන බස් නැවැතුම්පොළේ අටවා ගත් කුඩා කුටියක සිට දොඩම් විකිණීමෙන් ඔහු දිනකට ලබන ආදායම රුපියල් 150 ක් පමණ වන බවත් ඉන්දීය වාර්තා පැවැසුවා. එම මුදලින් වැඩිකොටසක් ඔහු වැය කර ඇත්තේ පාසලේ ඉදිකිරීම් වෙනුවෙන්.

    ‘මට ඉගෙන ගන්න ලැබුණේ නැහැ. මා කතා කරන්න දන්නේ කර්ණාටක පමණයි. මට හින්දි බැහැ. ඉංග්‍රීසි බැහැ. විදේශිකයකු මුණ ගැහිලා කතා කළත් කියන දේ තේරෙන්නේ නැහැ. ඒ නිසා ගමේ දරුවො හරි ඉගෙන ගත යුතුයි කියන හැගීමෙන් තමයි මං මේ කටයුත්ත සිදුකළේ යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

    හජබ්බාගේ පාසල ජනප්‍රිය වී, ඊට ඇතුළත් වූ දරුවන් ගණන වැඩි වෙද්දී, යාබද තවත් ඉඩමක් මිලදී ගෙන පාසල වැඩි දියුණු කිරීමටද ඔහු පියවර‌ ගෙන තිබෙනවා. ඔහු ණය මුදලක්ද ලබාගෙන ඇති බවයි ඉන්දීය වාර්තාවල දැක්වුණේ.

    ‘පද්ම’ සම්මාන උළෙල පැවැත්වෙන්නේ ඉන්දිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. වත්මන් ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් අතින් සම්මාන ප්‍රදානය සිදුවුණා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඊට එක්ව සිටියා. සම්මාන උළෙලේදී හජබ්බා ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී කතා කිරීමට අවස්ථාවක් ලබාදීමටද පියවර ගෙන තිබෙනවා.

    එමෙන්ම සම්මානය ලබාගැනීම සදහා පාවහන් හෝ නොමැතිව ඔහු පැමිණ සිටීමද බොහෝ ‌දෙනෙකුගේ අවදානයට ලක් වූ කාරණයක්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව