මැතිවරණවලදී කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා නීතියෙන්ම කටයුතු කළ යුතු බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කිරීමේ විශේෂ කාරක සභාවේදී පැවසුවාය.
මනාප ක්‍රමයත් සමඟ කාන්තාවන්ට තරඟ කිරීමට අපහසු බවත් කාන්තාවන් බොහෝ විට දේශපාලනයට පැමිණෙන්නේ සිය පවුල් පසුබිම තුළින් බවත්, එසේ නොවන කාන්තාවන්ට පාර්ලිමේන්තුවට පැමිණීම අතිශය අසීරු බවත් ඇය කාරක සභාවේදී අවධාරණය කළාය.
විදේශ කටයුතු අමාත්‍ය හා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කිරීමේ විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් විය.
සම්පූර්ණයෙන්ම කේවළ ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වුවහොත් විශාල අසමතුලිතතාවයක් හටගන්නා බව අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
එකම දිනයක ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බංඩාර මහතා මෙහිදී කීවේය.
මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 06 ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාරක සභාව හමුවේ කරුණු දැක්වීය.
මෙහිදී අදහස් දැක් වූ ලිබරල් පක්ෂයේ මහලේකම් කමල් නිශ්ශංක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සඳහා නවසීලන්තයේ පවතින මැතිවරණ ක්‍රමය භාවිත කිරීම යෝග්‍ය බවයි.
තම පක්ෂය දිස්ත්‍රික් අනුපාත ක්‍රමයට විරුද්ධ බවත්, එහෙත් ජාතික ලැයිස්තු ක්‍රමය එලෙසම පවත්වා ගත යුතු බවත් හෙතෙම කාරක සභාව හමුවේ පැවසීය.
පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයන් 225 දෙනා තෝරා ගැනීමේදී 160 දෙනෙකු ජන්දයෙන්ද 65 දෙනෙක් ජාතික ලැයිස්තුවෙන්ද පත් කළ යුතු බවට කමල් නිශ්ශංක මහතා යෝජනා කළේය.
අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහ සභාවේ සභාපති කේ.විග්නේෂ්වරන් මහතා කාරක සභාව හමුවේ කරුණු දක්වමින්, තිස්වසරක් පුරා රටේ පැවැති යුද්ධය හේතුවෙන් විදෙස් ගත වූ මිලියන 1.5 ක් වන ජනතාවට ජන්දය ලබා දීම සඳහා අවස්ථාව සැළසිය යුතු බවත, ඒ සඳහා නීති හඳුන්වා දිය යුතු බවත් කීවේය. එය කාලීන අවශ්‍යතාවක් බවද ඔහු පෙන්වා දුන්නේය.
කාන්තා නියෝජනය සියයට 30 කින් ඉහළ නැංවිය යුතු බවට තෙමල සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂය කාරක සභාවේ කරුණූ දක්වමින් කීවේය. එය පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට අදාළ විය බවද එම පක්ෂය පැවසීය.
පවතින සමානුපාතික ක්‍රමය කිසිදු වෙනසකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව සමත්තුවකච්චි පක්ෂය කාරක සභාවේදී අවධාරණය කළේය. එම ක්‍රමය යටතේ සියලු ජාතින්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමිවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදයට එය ඉතා වැදගත් සාධකයක් බවත් ඔවුහු පෙන්වා දුන්හ. පළාත් සභා වලද කාන්තා නියෝජනය සියයට 25 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවටද සමත්තුවකච්චි පක්ෂය කාරක සභාවට යෝජනා කළේය.විදෙස් ගතව සිටින සහ අවතැන්ව සිටින පාර්ශ්වයන්හි ජන්ද අයිතිය සුරැකිය යුතු බවටද එම පක්ෂය වැඩිදුරටත් යෝජනා කළේය.
මැතිවරණ නියම වේලාවට පැවැත්වීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය විය යුතු බව එක්සත් සාම සන්ධානය කාරක සභාවේදී කීවේය. මැතිවරණ කල් දැමීම යෝග්‍ය නොවේ. අපේක්ෂකයන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රමාද නොවී මැතිවරණ කොමිෂන් සභාවට ලබා දීමට ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවද එක්සත් සාම සන්ධානය කාරක සභාවේදී මතු කළේය.
දේශපාලන පක්ෂ සන්ධාන ගත වීම වැළැක්විම සඳහා නිසි ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව සිංහලදීප ජාතික පෙරමුණ කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසීය.මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වෙනත් පක්ෂවලට සහය දක්වන මන්ත්‍රීවරයන්ගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහාද නව නීති සම්පාදනයේදී අවධානය යොමු කළ යුතු බව එම පෙරමුණ කාරක සභාවේදී කීවේය.
ලබන මාසයේදී දින 04 ක් මෙම කාරක සභාව රැස්වන බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂාණී රෝහණදීර මහත්මිය සඳහන් කළාය.
මෙම කාරක සභාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්,මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුන් ද සභභාගී විය.
ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා, මැතිවරණ කොමිෂන් සභාවේ නිළධාරීන් මෙන්ම නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ද මෙම කාරක සභාවට සභභාගී විය.