අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින හරක් කටා හෙවත් නදුන් චින්තක යන අයට එම ස්ථානයෙන් පලා යාමට සහය දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයා මේ වන විට මුහුදු මාර්ගයෙන් රටින් පලාගොස් ඇති බවට පොලිසිය සැක පළකරනවා. අදාළ කොස්තාපල්වරයාගේ පෙම්වතිය ද රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදී ඇති අතර, තම් පෙම්වතා විදේශගත වීම සඳහා ඉකුත් මස විසි එක් වෙනිදා විදේශ ගමන් බලපත්‍රයක්ද ලබාගෙන ඇති බව ඇය සඳහන් කර ඇති බවටයි තොරතුරු අනාවරණ වන්නේ.
විදේශ ගතවීමෙන් පසුව තමන් ද එම රටට ගෙන්වා ගන්නා බවට ඔහු පොරොන්දු වූ බවද ඇය පවසා තිබෙනවා.
කෙසේ වෙතත් සැකකාර කොස්තාපල්වරයා මේ දක්වා මෙරට ගුවන් තොටුපලක් හරහා විදේශගත වී නැහැ. එහෙත් ඔහු විදේශගත වීම සඳහා අවශ්‍ය සියළු සැලසුම් සකස් කරගෙන සිට ඇති බව අනාවරණ වී තිබෙනවා. එබැවින් පොලිසිය සැකකරන්නේ, විදෙස්ගත වීම සඳහා ඔහු මුහුදු මාර්ගය භාවිතා කළේද යන්න පිළිබඳයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හරක් කටාගෙන් ප්‍රශ්න කරමින් සිටියදී අදාළ නිලධාරීන්ට මත් ඖෂධයක් ලබා දී හරක් කටාට එම ස්ථානයෙන් පලා යාම සඳහා උපකාර කළ බවටයි සැකකාර පොලිස් කොස්තාපල්වරයාට චෝදනා එල්ල වී තිබෙන්නේ.