ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ දෙවැනි වාරිකය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි පනවා තිබෙනවා. එම අරමුදලේ ප්‍රධානීන් පවසා ඇත්තේ අදාළ වාරිකය නිදහස් කරන නිශ්චිත කාලයක් නොමැති බවයි. අදාළ වාරිකය කඩිනමින් ලබාගැනීමට නම්, ශ්‍රී ලංකාව පියවර දෙකක් සම්පූර්ණ කළ යුතු බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණේ.
පළමු පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්ක සපුරාගත හැකි ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සමූහයකට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟතාවයක් ඇති කර ගත යුතුය යන්නයි. මෙරට ණය තිරසරභාවය නැවත ඇතිකර ගත හැකි බව පෙන්වා දෙන පැහැදිලි මාවතකට ශ්‍රී ලංකාව අවතීරණ වීම දෙවැනි පියවරයි.
මෙම පියවර දෙක සම්පූර්ණ වූ පසු ඉදිරියට යා හැකි බවද අනතුරුව සමාලෝචන වාර්තාව සකස් කිරීමට යම් කාලයක් ගතවන බවද ඔහු පවසා තිබුණා. එය විධායක කමිටුවට ඉදිරිපත් කිරීමටද තවත් යම් කාලයක් ගතවන බවද පීටර් බෲවර් මහතා ප්‍රකාශ කර ඇති අතර, කෙසේ නමුත් මේ දක්වා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳව සෑහීමකට පත්වන බවද පවසා තිබෙනවා.
ශ්‍රී ලංකා රජය ලබන බදු ආදායම පිළිබඳ සෑහීමකට පත් නොවන බවත් ලෝකයේ අඩුම බදු ආදායමක් ලබන රටවලට ශ්‍රී ලංකාවද අයත් වන බවත් පෙන්වා දී ඇති බෲවර් මහතා, ශ්‍රී ලංකා රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19 ක් පමණ වන බවද ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9 ක් පමණ වන බවද සඳහන් කර තිබෙනවා. එම හිඩැස පිරවීම සඳහා ප්‍රමාණවත් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතුය යන්නයි ඔහු අවධාරණය කර තිබෙන්නේ.