පර්සි අබේසේකර යනු ලෝකයේම ගෞරවය හිමිකර ගැනීමට සමත්වූ විශේෂ චරිතයකි.´ඔහු ලෝකයේ ක්‍රිකට් පුරා වෘත්තයක් ලෙස හෑදින්වීම සාධාරණය. ඒ ඔහු ක්‍රිකට් වෙනුවෙන් ලබාදී ඇති දායකත්වය කිසිදා මිල කළ නොහැකි බැවිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීම වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කළ ද අනෙකුත් රටවල ක්‍රීඩකයින්ද පර්සිට ආදරය කළේ ඔහු ක්‍රිකට් තුළ නිරූපිත මහත්මා ගුණයෙන් පිරිපුන් අයෙකු වන බැවිනි. ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල සෑම ක්රීඩකයෙකුගේම ආදරය ද ප්‍රේක්ෂකයින්ගේ ගෞරවයද හිමි කරගත් පුද්ගල නාමාවලියක් සම්පාදනය කළහොත් පර්සි අබේසේකර එම නාමාවලියේ ඉහළින්ම වැජබෙන චරිතය බවට පත්වීම කිසිවෙකුට වැලැක්විය නොහැකිය.
ලෝක ක්‍රිකට් ලෝලීන්ගේ ගෞරවනීය චරිතය.
මේ පූර්විකාව සටහන් කරන විට පර්සි අබේසේකර සදාතනික මතකයන් පමණක් ඉතිරි කර මෙලොවින් සමුගෙන හමාරය. ලෝක කුසලාන ක්‍රිකට් සැණකෙළිය පැවැත්වෙන සමයක ඔහුගේ හැරයාම සිදුවීමද විශේෂත්වයකි. දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් මධ්‍යයේ සිංහ ධඡය අතැතිව ශ්‍රි ලංකා කණ්ඩායම දිරි ගන්වන පර්සි අබේසේකර නැවත සජීව ලෙස දැක ගැනීමට නොහැකි වනු ඇත. ජයග්‍රහණවලදී මෙන්ම පරාජයන්හිදී ද ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් සමග රැදෙමින් ඔහු කළ මෙහෙවර වෙනුවෙන් සමස්ථ ලෝකවාසී ක්‍රිකට් ලෝලීන්ගේ ගෞරවය ඔහුට හිමුවනු නිසැකය. කලක් රෝගාතුරුව සිටි ඔහු යළි ප්‍රේක්ෂකයින්ට පසුගියදා දැකගත හැකි වූයේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරය. ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු පර්සිගේ සුවදුක් බැලීමට ගියේ ඔහු ලෝකයේ ගෞරවනීය චරිතයක් බව මනාව පසක් කරමිනි. කෙසේ වෙතත් රෝගී තත්ත්වයක් හේතුවෙන් රාගම පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටි පර්සි අබේසේකර, ඔක්තෝම්බර් මස 30 දා අභාවප්‍රාප්ත වුණේය. 1936 වසරේ ගාල්ල බූස්ස ග්‍රාමයේ උපන් පර්සි මිය යන විට 88 හැවිරිදි වියේ පසු විය.
1936 ජූලි මස 30 වැනිදා ඩේලි මාගරට් ද සොයිසා සිරිවර්ධන හා වලිමුණි සයිමන් මෙන්ඩිස් අබේසේකර යන දෙපළට දාව පවුලේ පස්වැන්නා ලෙස පර්සි උපත ලැබුවේ ගාල්ල බූස්සේ දී ය. ගාල්ල රිච්මන්ඩ්, සාන්ත ඇලෝසියස් හා බද්දේගම රතනසාර යන විදුහල් තුළ අකුරු කළ ඔහු වාඩාත් උනන්දු වූයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමටය. වයස 12 දී පළමුවරට ක්‍රිකට් තරගයක් නැරඹීම සඳහා එවකට පාසල් සිසුවෙකු වූ පර්සි ගාල්ලේ සිට දුම්රියෙන් සිය සහෝදරයෙකු සම බොරැල්ල පී.සරවනමුත්තු ක්‍රිඩාංගනය වෙත පැමිණෙයි. ඒ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති තරගයක් දැක බලා ගැනීමටයි.
ක්‍රිකට් පිටියට අනවසරයෙන් ඇතුළු වූ පර්සි අත්අඩංගුවට.
අධ්‍යාපන කටයුතු අවසන් කරන ඔහු, වර්ෂ 1961 දී ඇසොසිඒටඩ් මෝටර්වේස් සමාගමේ තොග පාලන නිලධාරියෙකු ලෙස සේවයට එක්වූ අතර, එම රැකියාව ඔහුට වඩාත් වැදගත් වූයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සදහාද අවස්ථාව හිමිවූ බැවිනි. පර්සිල පසුකලෙක එම සමාගමේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සමඟ සම්බන්ධ වීමට සමත් විය. 1954 ඕස්ටේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඔහුට කිසිදින අමතක නොවන තරගාවලියක් වන්නට ඇත. එදා මෙදා තුර ලොව බිහි වූ අග්‍රගණ්‍ය පිතිකරුවෙකු වන ඩොන් බ්‍රැඩ්මන් ඕස්ටේලියානු කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේය. එම ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ජයවීර අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර, වහා ක්‍රියාත්මක වූ පර්සි ක්‍රීඩා පිටිය මැදටම ගොස් අසිත ජයවීරට සුබ පැතුම් එක්කළේය. ඔහු එම ක්‍රියාව සිදුකළේ පිටිය මැදට නොයන ලෙස පොලිසිය නියෝගයක් ලබාදී තිබූ වාතාවරණයක් තුළය. අවසානයේ සිදුවූයේ බොරැල්ල පොලිස් සිර මැදිරියක් තුල කාලය ගත කිරීමටයි. කෙසේ වෙතත් රුපියල් 100 ක දඩ මුදලක් ගෙවා එදින රාත්‍රියේම ඔහු නිදහස් කර ගැනීමට පිරිසක් කටයුතු කර තිබිණ.
බාධක ගණනකට නොගැනීම පර්සිගේ චර්යාවක් බවට පත්ව තිබු අතර, ඔහු නිරන්තර උත්සාහ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරි ගැන්වීම පමණකි. ජය පරාජය කෙසේ වුවද ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වීම තමාගේ ඒකායන අපේක්ෂාව බව පර්සි අබේසේර වරක් ප්‍රකාශ කර තිබිණ.
ඔන්න බල්ලෙක් කියමින් “බෙඩ්” බියකළ හැටි.
1979 දී ඉන්දියාවට එරෙහිව එංගලන්තයේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවැති තරගයද පර්සිගේ මතක සටහනකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිගන්වන්නා ලෙස සහභාගී වූ පර්සි මේ පිළිබද අවස්ථා කිහිපයකදීම මතකය අවදි කර තිබේ. මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 60 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 238ක් ලබා ගැනීමට සමත්වූ අතර, එහි දී සුනිල් වෙත්තමුණි ලකුණු 67ක් සහ දුලිප් මෙන්ඩිස් පන්දු 57කින් වේගවත් ලකුණු 64ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කරන්නට සමත් විය. දුලිප් ලකුණු 30 ක් රැස්කරගෙන සිටි අවස්ථාවක එල්ල කළ පහරක් හතරේ සීමාව අසල දී උඩපන්දුවක් ලෙසින් රැක ගැනීමට බිෂන් බේඩි උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක විය. “බේඩි ඔන්න පිටිපස්සෙන් තඩි බල්ලෙක් එනවා” යැයි මහා හඬින් තමන් කෑ ගෑසූ බවද තමන් අනුකරණය කරමින් තවත් පිරිසක්, “ ඕක අල්ලගන්න බැහැ” යනුවෙන් හඬ නැගූ බවද පර්සි සිහිපත් කර තිබේ. එම අවස්ථාවේ දී අන්දමන්ද වූ බේඩි ට උඩපන්දුව රැක ගැනීමට අවස්ථාවක් හිමි නොවීම හේතුවෙන්, දුලිප් මෙන්ඩිස්ට ලකුණු 64ක් ලබා ගැනීමට හැකි වූ බවද ක්‍රිකට් ඉතිහාසයේ සටහන්ව ඇති කාරණයකි. මේ තත්ත්වය තුළ ලකුණු 239ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියානුවන්ට සියලුම පිතිකරුවන් දැවී ලබාගැනීමට හැකිවී ඇත්තේ ලකුණු 191ක් පමණය. එය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ මංගල ජයග්‍රහණය ලෙසින් සටහන් වූ අතර, ටෙස්ට් වරම් නොලද රටක්, ටෙස්ට් වරම් ලැබූ රටකට එරෙහිව ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසද එම තරගය ඉතිහාසයට එක්ව තිබේ.
මන්තර ජප කර අසාරුඩීන් බියට පත්කරලා
1985 වසරේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වූ අතර, ඊට ටෙස්ට් තරග 03 ක් ඇතුළත් වී තිබිණ. මොහොමඩ් අසාරුඩීන් ප්‍රබල පිතිකරුවෙකු ලෙස ඉදිරියට පැමිණෙමින් තිබුණු අතර, ඔහු සිය ටෙස්ට් තරග දිවියේ මුල් තරග 3 දී ම ශතක රැස්කිරීමට සමත්ව සිටීම එම තත්ත්වයට හේතුවයි. කෙසේ වෙතත් “මන්තරවලට” අසාරුඩීන් බියක් දක්වන බව පර්සි වටහා ගෙන තිබිණ. මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට පර්සි අනුගමනය කළ අපූරු උපායක් පිළිබද ක්‍රිකට් ලෝකයේ කතා බහක් නිර්මාණය වී තිබේ. පර්සි සිදුකර ඇත්තේ කොළඹ කොටුවෙන් ඇට මාලයක් මිලදී ගෙන කරේ පැලද ගනිමින් ක්‍රීඩාංගනයට පැමිණීමයි. අනතුරුව බොරු මන්තර ජප කරමින් අසාරුඩීන් මුළාවට පත් කිරීමට පර්සි අබේසේකර කටයුතු කළ බවද එය දුටු අසාරුඩීන්ට අර්ධ ශතකයක් හෝ රැස්කිරීමට අවස්ථාවක් නොලැබුණු බවද පසුකාලයේ දැනගන්නට ලැබී තිබේ. කෙසේ වෙතත් මෙම ක්‍රියාව වසර ගණනාවකට පසුව අසාරුඩීන් සහ පර්සි අතර වචන හුවමාරුවක් ඇති වීම දක්වා දුරදිග ගොස් තිබේ.
සිදත් දින 03 ක් පිටියේ රැදවූ මන්තරේ.
1984 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයකට සහභාගී විය. ලෝඩ්ස් පිටියේ ටෙස්ට් තරගය ආරම්භ වන්නට දින කිහිපයකට පෙර පර්සි සිදත් වෙත්තමුණිගේ මහ ගෙදරට ගොස් සිදත්ගේ වැඩිමහල් සොයුරු සුනිල් මුණගැසී “මල්ලිට යමක් පවසන්නට තිබේද” යනුවෙන් විමසා තිබේ. එය අසාගෙන සිටි සුනිල් පර්සි හමුවේ පවසා ඇත්තේ, “මල්ලිට කියන්න මේ ටෙස්ට් එකේදි එයාට ශතකයක් වාර්තා කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ හින්ද ඒක මඟහැර ගන්න එපා කියලා” යනුවෙන් පවසා තිබේ. එම පනිවුඩයද හිතේ රදවා තබා ගනිමින් පර්සි එංගලන්තය බලා පිටත්ව ගොස්, සොහොයුරාගේ පණිවුඩය සිදත් වෙත්තමුණි ලබාදීමට පියවර ගෙන තිබිණ. තරගය ආරම්භ වී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේ “සිදත්…. අදත්…. හෙටත්…. පුළුවන් නම් අනිද්දටත්” යන වචන පෙළ නිරන්තරයෙන් පවසමින් පර්සි සිදත් දිරිමත් කර ඇති අතර, එය යථාර්ථයක් බවට පත්කරමින් සිදත් වෙත්තමුණිද පුරා දින 03 ක් පන්දුවට පහර දෙමින් ලකුණු 190ක් ලබා ගැනීමට සමත්වී තිබේ. එය එම අවධියේ දී ශ්‍රී ලංකා පිතිකරුවෙක් ටෙස්ට් ඉනිමක දී ලබා ගත් වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් වෙයි.
ඔබට සුබ ගමන්.
නොයකුත් කතා පර්සි සම්බන්ධයෙන් පැවසීමට තිබේ. ඔහු එතරම්ම සුන්දර චරිතයකි. ලෝකයේම ක්‍රිකට් දිරි ගැන්වීමේ කලාවේ සංකේතයක් බවට පත්වූ ඔහු “පර්සි” යන ආදරණීය ආමන්ත්‍රණයෙන් ලෝකයේ ඉහළම ක්‍රීඩකයින්ගෙන් ගෞරවනීයත්වයට පත්විය. ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ට වඩා දින දෙකකින් පමණක් බාලවන පර්සිගේ ගෞරවනීය චරිත අතරින් කෙනෙකු වන්නේ ද ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් ය.
නීතිඥයෙකු වීමේ අපේක්ෂාව සහිතව අධ්‍යාපනය හදාරා ඇති පර්සි නැවතුනේ ක්‍රිකට් පිටියේය. සත්‍ය ලෙසම නීතිඥයෙකු වීමට වඩා “පර්සිට” ගැලපෙනම තැන ක්‍රිකට් පිටිය බව ඔහු පමණක් නොව ඔහු දෙස බලා සිටි ලෝකයේ සෑම ක්‍රිකට් ලෝලියෙකුම තේරුම් ගන්නට ඇත. ඉතිං පර්සි… ඔබට සුබ ගමන්…