2024 ප්‍රධාන අයවැය අද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිප්ත කළ අතර, රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව ඉහළ දැමීම ඇතුළු තීරණ කිහිපයක් ප්‍රකාශයට පත්වුණා. මෙම අවවැය යෝජනාවේ විශේෂ කරුණු කිහිපයක් හදුනාගත හැකියි.
රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්
ලක්ෂ 13 ඉක්මවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් 2024 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් ඉහළ දැමුණු අතර, ඒ අනුව රාජ්‍ය සේවකයින් වෙත හිමිවන ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 ක් දක්වා ඉහළ දැමෙනු ඇති. කෙසේ වෙතත් මෙම ගෙවීම් අප්‍රේල් මාසයේ සිට ගෙවීමටයි රජය තීරණය කර තිබෙන්නේ. ජනවාරි සිට මාර්තු දක්වා කාලයට අදාළ ගෙවීම් අප්‍රේල් සිට මාස 06 ක කාලයකින් වාරික වශයෙන් ගෙවීමට නියමිතයි.
මේ අතර රජයේ විශ්‍රාමකයින් වෙත මාසිකව හිමිවන රුපියල් 3,525 ක මාසික ජීවන වියදම් දීමනාව ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රුපියල් 2500 කින් වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා.
වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප
වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප වෙනුවෙන්, සේවකයන් සිය මූලික වැටුපෙන් ලබාදෙන සියයට 6‐7ක දායකත්වය ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට 8% දක්වා ඉහළ දැමීමට අයවැය මගින් යෝජනා වුණා.
ආපදා ණය
දැනට සීමා පනවා ඇති රාජ්‍ය සේවයකයින්ට ආපදා ණය දීමේ අවස්ථාව 2024 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට පෙර පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
අස්වැසුම සහ ආබාධිත දීමනා
අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් බිලියන 60ක මුදල වාර්ෂිකව රුපියල් බිලියන 183ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර, ප්‍රතිලාභය පවුල් ලක්ෂ 20 ක් වෙත ලබාදීමට ද යෝජනා වී තිබෙනවා. මේ අතර ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් සඳහා මාසිකව ලබා දෙන රුපියල් 5,000 ක දීමනාව රුපියල් 7, 500ක් දක්වා සහ වැඩිහිටි පුරවැසියන් වෙත ලබා දෙන රුපියල් 2,000 ක මාසික දීමනාව රුපියල් 3,000 ක් දක්වා වැඩි ඉහළ දැමෙනු ඇති.
නාගරික නිවාස සහ වතුකරයේ නිවාස
විවිධ වැඩසටහන් යටතේ ඉදිකොට අඩු ආදායම් පවුල්වලට රුපියල් 3,000 ක මාසික කුලිය මත ලබා දී ඇති නිවාස සඳහා කුලී අය කිරීම අත්හිටුවා එම නිවාසවල අයිතිය එම පවුල්වලට ලබාදීමට තීරණය කර තිබීම මෙවර අයවැය යෝජනාවේ තවත් විශේෂ කාරණයක්.
ඒ අනුව 2024 වර්ෂයේ දී පවුල් 50,000 කට පමණ මෙම නිවාසවල අයිතිය ලබා දීමට යෝජනා කර ඇති අතර, වතුකරයේ ජීවත් වන පුද්ගලයින්ට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමි කර දීමේ ආරම්භක පියවර වශයෙන් රුපියල් බිලියන 4 ක් වෙන් කිරීමට ද ජනාධිපතිවරයා අයවැය මගින් යෝජනා කළා.
අතුරුදන් පුද්ගලයින් වෙනුවෙන් වන්දි
ගැටුම්කාරී වාතාවරණය තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල අතුරුදන්වුවන් සහ විපතට පත් වූවන් සඳහා වන්දි ගෙවීම් කඩිනම් කිරීමට යෝජනා වූ අතර, ඒ සඳහා තවත් රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා වී තිබෙනවා.
පෞද්ගලික විශ්ව විද්‍යාල
රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ක්‍රියාත්මක පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා සහනදායි ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද රැකියාවක් ලබා ගැනීමෙන් පසු ඒ ණය ආපසු ගෙවිමට අවකාශ සැලසීමට ද යෝජනා වී තිබෙනවා.
ත්‍රිකුණාමලය නගරාශ්‍රිත සංවර්ධනය
ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම සදහා අවධානය යොමු වී ඇති අතර, එම කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීමට නියමිතයි.