Sunday, September 15, 2024

Top 5 This Week

Related Posts

“එට්කා” කියන විට “ඉක්කා ගහන” අනුර…

අද ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් “එට්කා” කියන විට “ඉක්කා ගහන” තත්ත්වයට පත්ව ඇති බවත් මිල්කෝ සමාගම, ඉන්දියාවේ අමුල් සමාගමට විකුණා දැමීම ටෙන්ඩර් පටිපාටියක් අනුව සිදු නොකිරීම පමණක් ඔවුන්ට ප්‍රශ්නයක් වී ඇති බවත් පෙන්වා දුන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ මහතා ටෙන්ඩර් කර හෝ නොකර අපේ රටේ වටිනා සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීම නිවැරදි දැයි ප්‍රශ්න කර සිටියි.

ඊයේ(11) සවස පිළියන්දල, සුවාරපොළ දී පැවති “9න් පසුව : ශ්‍රී ලංකාවේ ඉරණම” යන මැයෙන් පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ටාටා – අදානි – අමුල්” සූදානම්!

“මේ ආර්ථික අර්බුදය ඇතුළේ විදුලි බල මණ්ඩලය කොටස්වලට කඩලා විකුණන්නයි සූදානම. ඒක ගන්න ඇවිල්ලා තියෙන්නේ ටාටා, අදානි ඇතුළු මහා ඉන්දියානු සමාගම්වලින්. මේකෙන් අවසානයේදී වෙන්නේ ඉන්දියාව අතට අපේ රටේ විදුලිය නිපදවීමේ සහ බෙදාහැරීමේ බලය යන එක. ඊට පස්සේ මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් ඉන්දියාව අසතුටු අයෙකු බලයට ආවොත් ඔවුන්ට මේ ‘විදුලි බලය’ සමඟ ලැබෙන ‘හයියෙන්’ ඒ පාලකයාව එළවා දමන්න හැකියාව ලැබෙනවා. මේ විදිහට බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළුවොත් එවැනි ඉරණමකට ශ්‍රී ලංකාව පත්වෙනවා. ඒ විතරක් නෙවෙයි ටෙලිකොම් සමාගම සතු රජයේ කොටස් මිලදී ගන්න හදන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ ගජ මිතුරෙකු වන අදානි. මේක එතැනින් නතර වෙන්නේ නැහැ; ඉන්දියානු අමුල් සමාගම මිල්කෝ සමාගම පමණක් නොවෙයි පශුසම්පත් සංවර්ධන මණ්ඩලය සතු සරුසාර ගොවිපොළවල් 33ක් සමග මෙරට ඉඩම් අක්කර 28,000ක් අත්පත් කරගැනීමට සූදානමින් ඉන්නවා.

“අනුර ඩුමුක අමුල් අමුල්”

දැන් බලන්න, අනුර දිසානායක මහත්තයාට ඉන්දියාවට එන්න කියලා අමුල් සමාගමේ නිරීක්‍ෂණ චාරිකාවකුත් හදලා දෙනවා. ඒ අස්සේ එයාගේ ගෝලයෝ, ‘මිල්කෝ සමාගම අමුල්ට විකුණන්න එපා!’ කියලා මිල්කෝ සමාගම ඉදිරිපිට පෙත්සමක් අත්සන් කරනවා. මේ විකාරය දැකපු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු ‘අනුර ඩුමුක අමුල් අමුල්’ කියා පෝස්ට් එකක් දාලා තිබුණා. එහෙම හිතෙන එක සාධාරණයිනේ. මේ වගේ ‘නරි නාටක’ කවදාද අපි දැක්කේ? අමුල් බලලා ඇවිත් ඔවුන් කියනවා, ‘මිල්කෝ එක ටෙන්ඩර් නොකර ඕගොල්ලන්ට දෙන එකට නම් අපි කැමති නැහැ, කියලා අපි අමුල් හිමිකරුවන්ට කීවා’ කියලා. දැන් ජවිපෙට තියෙන ප්‍රශ්නය ටෙන්ඩර් නොකිරීම ද? ටෙන්ඩර් කරලා හෝ නොකර අපේ රටේ වටිනා සම්පත් කුණුකොල්ලෙට විකුණන එක හරිද? ඒක අමුතු ප්‍රතිපත්තියක්නේ.

“භයානකම දේ එට්කා පැමිණීමයි”

දැන් ඒ විදිහට විදුලි බල පද්ධතිය, ටෙලිකොම් එක, මිල්කෝ සමාගම ඉන්දියානු සමාගම්වලට විකිණෙන අතරේ වඩාත්ම භයානක සිදුවීමක් කඩිනමින් සිදුවෙමින් තිබෙනවා. ඒ තමයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීම. මීට ඉහතදී එට්කා ගිවිසුම අත්සන් කිරීමට එවකට පාලකයන් උත්සාහ කළත් අපි විරෝධය දක්වා එය වළක්වා ගත්තා. එට්කා ගිවිසුම අත්සන් කළාම ඉන්දියානුවන්ට ශ්‍රී ලංකා රැකියා වෙළඳපොළ තුළ සමාන ඉඩකඩක් හැදෙනවා. ටෙලිකොම් සමාගම අදානිට ලැබුණාම එහි පුරප්පාඩු ඉන්දියානුවන්ගෙන් පුරවාවි. ඒ වගේම විදුලි බල මණ්ඩලය කෑලි කඩලා විකුණූ පසු මිලදී ගන්නා ඉන්දියානු සමාගම්වලටත් තමන්ගේ පුරප්පාඩු සඳහා ඉන්දියානු පුරවැසියන් බඳවා ගැනීමට හැකියාව ලැබෙනවා. එට්කා ගිවිසුම අනුව ලංකාවේ අපට ඒ කිසිවකට විරුද්ධ වීමට නීත්‍යනුකූල ඉඩක් නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිල්ලර හා තොග වෙළදාම සඳහාත් ඉන්දියානුවන්ට සමාන ඉඩකඩක් ලැබෙනවා.

සහල් ටිකත් ඉන්දියාවෙන්…

දැන් බලන්න, විදුලි බිල වැඩි කරලා, පොහොර, උදැල්ල ඇතුළු කෘෂිකාර්මික යෙදවුම්වලට සියයට 18ක වැට් බද්ද ගහලා තියෙනවා. අවසානයේදී නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහින් සහල් කිලෝවක මිල ඉහළ යනවා. සහල් කිලෝවක මිල මීටත් වඩා වැඩි වුණාම සහල් ටිකත් ඉන්දියාවෙන් ගෙනෙන තැනට වැඩේ හැදෙයි. ඉන්දියාවේ ගොවියාට විදුලි බලයත් නොමිලේ ලැබෙනවා; කෘෂි යෙදවුම්වලට බදුත් නැහැ. නිෂ්පාදන පිරිවැය අඩු ඉන්දියානු සහල් අපේ වෙළඳපොළට අඩු මිලට පැමිණේවි. වෙළඳ ඇමැතිලා ඉන්දියානු සහල්වලට එහෙම ඉඩ හදද්දී මහා පරිමාණ මෝල් හිමියනුත් අපේ ගොවියාගෙන් වී මිලදී ගැනීම නතර කරලා ඉන්දියාවෙන් සහල් ගෙනවිත් තමන්ගේ වෙළඳ නාම යටතේ විකුණාවි. අන්තිමේදී අපේ ගොවියාට නිපදවන වී ටික විකුණාගන්න තැනක් නැති වෙනවා. ඔහුට ගොවිතැන එපා වෙනවා. මේ විදියට ගොවියාට ගොවිතැන එපා වන විදිහට වැඩේ හදපු වික්‍රමසිංහ මහත්තයා අද ගොවියාගේ බලපත්‍ර ඉඩමට සින්නක්කර ඔප්පුව දෙනවා. මේ වෙලාවෙහ ගොවියා කරන්නේ ඉඩම කාට හරි විකුණලා කුලී වැඩක් කරන්න කොළඹට එන එක.

ගොවියා කුලීකරුවකු ලෙස කොළඹට…

අපේ රටේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් තිබුණු නිසා තමයි ගමෙන් නගරයට සංක්‍රමණය වීම අවම මට්ටමක තිබුණේ. කලාපයේ එසේ ගමෙන් නගරයට සංක්‍රමණය වීමේ අඩුම ශීඝ්‍රයතාව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. තවමත් අපේ රටේ ග්‍රාමීය ජනගහනය සියයට 70ක් පමණ වෙනවා. ඒ නිසා තමයි අපි මේ තරමින් හෝ පවතින්නේ. නමුත් එට්කා ගිවිසුම අත්සන් කරලා ඉන්දියානු සහල්වලට අපේ වෙළඳපොළ විවෘත කළාම මේ සියල්ල කනපිට හැරෙනවා. සහල් පමණක් නොවෙයි අපේ කෘෂිකාර්මික නිෂ්පාදනය නැත්තටම නැති වෙනවා. අවසානයේ එට්කා ගිවිසුමෙන් අපේ රැකියා වෙළඳපොළ සහ සිල්ලර හා තොග වෙළඳාම සම්පූර්ණයෙන්ම ඉන්දියාව ගිලගන්නවා

“එට්කා” කියනකොට “ඉක්කා ගහන” කට්ටිය

දැන් මේ අත්සන් කරන්න යන එට්කා ගිවිසුම ගැන ‘අනුර ඩුමුක අමුල් අමුල්’ කට්ටිය වචනයක්වත් කතාකරනවාද ? ඇයි එට්කා කියනකොට එයාලා ‘ඉක්කා’ ගහන්නෙ? ඒ ගැන වචනයක් කතා නොකළාට ‘මූ හොරා! අරූ හොරා!’ කියලා හරියට බලා හිටියා වගේ කියන්න නම් දන්නවා. ජනතාව ‘ජීවත්වීම’ කියන ප්‍රශ්නය ඇතුළේ කොටු වුණු මේ වෙලාවේ වත්මන් පාලකයන් මෙවැනි ගිවිසුම් අත්සන් කරලා අනාගත පරපුරට උපන්බිමෙන් බිම් අඟලක් හෝ ලබා ගැනීමේ හිමිකම අහිමි කරමින් සිටින බව අපි තේරුම්ගත යුතුයි.

ඉන්දියාවේ 29 වැනි අර්ධ යටත්විජිත කොලනිය

ඊළඟට මොකද වෙන්නේ? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගියදා ජාත්‍යන්තර ආර්ථික සමුළුවකට ගිය අවස්ථාවක හමුවූ ඉන්දියානු ව්‍යාපාරිකයන් පිරිසකට පවසා තිබුණා ‘අපි ඉන්දියානු හා ශ්‍රී ලංකා රේගු දෙක සමීප කරනවා’ කියා. ඒ කියන්නේ දෙරටේ රේගු දෙක ඒකාබද්ධ කිරීමයි. ඒකත් කළාම අන්තිමට ශ්‍රී ලංකාව තුළ අපේ රුපියල පමණක් නොවෙයි ඉන්දියානු රුපියලත් ව්‍යවහාරික මුදල් ඒකකයක් බවට පත් කරාවි. ඉන්දියානු කඩෙන් බඩු ටික අරන්, ඉන්දියානු රුපියලෙන් සල්ලි ගෙවලා, ගෙදර ඇවිත් නිදාගන්න සිදුවන ඉරණමක් අද අපි ඉදිරියේ ලියවිලා තිබෙනවා. මේ පාලකයන් ජනතාව මත පැටවී තිබෙන පීඩනය පාවිච්චි කරලා, සාමාන්‍ය තත්ත්වයකදී සිදුකළ නොහැකි විනාශකාරී ක්‍රියා සියල්ල සිදුකරන ගමනක් තමයි යමින් සිටින්නේ. ඒ නිසා ආදරණීය අම්මේ, තාත්තේ, දුවේ, පුතේ මේ අවදානම දකින්න! ඉන්දියාවේ 29 වන අර්ධ යටත්විජිත කොලනිය බවට අපේ රට පත්කිරීමට ඉඩ දී නිහඬව සිටිනවාද, නැද්ද කියා තීරණය කරන්න. මේ තත්ත්වය පැරදවීමට මුළු වෙර යොදා කටයුතු නොකළොත් අපට ගැලවීමක් නැහැ.

කවුරු නැතත් අපි සූදානම්!

මේ විනාශකාරී ගමනට සරිලන විදියට තමයි දැන් ‘අනුර ඩුමුක අමුල් අමුල්’ කට්ටියත් හැදිලා එන්නේ. ඒ නිසයි අපි කියන මේ කතාව වෙනත් කිසිදු දේශපාලන වේදිකාවක අහන්න නොලැබෙන්නේ. ඔවුන් මේ අනතුරට සෘජුව හෝ වක්‍රව වැඩෙන්න දීලා වෙන වෙන ‘වැල්බයිලා, ටොෆි සිගරට් කතා, චූන් පාන් කතා’ කියමින් ඉන්නවා. අපි ඔබ හමුවට ආවේ ‘මේ අනතුර දකින්න! ඊට එරෙහිව සංවිධානය වෙන්න!’ කියන පණිවිඩය ලබා දීමටයි. ‘කවුරු නැතත් මේ අනතුර පරාජයට පත් කිරීම සඳහා අපි නායකත්වය දෙනවා’ කියා අවධාරණය කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles