Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් එන්නත් වංචාව පිළිබඳ පාපොච්ඡාරණයකට සූදානම්…

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තමන් සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔහු අද (02) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම අවස්ථාවේදී ඔහු ඉහත අදහස පළකර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිෂ්පාදන සහ සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් ඊයේ පැය නවයක ප්‍රකාශයක් ගැනීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන තිබුණේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කරුණු දැක්වුයේ මෙලෙසයි.

,ස්වාමිනි, මේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රාව කියන්නේ ශ්‍රී ලංකා භාණ්ඩාගාරයෙන් වැඩිම මුදලක් ගෙවා මිලදී ගන්නා එන්නත් මාත්‍රාවක්. එක් මාත්‍රාවක් රුපියල් 45,000ක්. එවැනි වටපිටාවක තමයි මේ නඩුවේ පළමු සැකකරුට රජයේ මුදල් රුපියල් බිලියනයක් සාපරාධි සාවද්‍ය පරිහරණය කරන්න සෙසු සැකකරුවන් ආධාර අනුබලදීලා තියෙන්නේ. නඩුවේ පළමු සැකකරු වන ඖෂධ සමාගමේ හිමිකරුට අයුතු ලාභ ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසීමට සෙසු සැකකරුවන් තමන්ගේ රාජකාරිය තුළ ආධාර අනුබල දී තිබෙනවා. ඒ අනුව ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් 8වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ එක්ව වංක චේතනාවෙන් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම පිළිබඳව තමයි සමන් රත්නායක අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහු මෙම නඩුවේ 10 වන සැකකරු ලෙස නම්කරන්නැයි මා ඉල්ලා සිටිනවා.

අනතුරුව සැකකරු සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා සුවිශේෂි කරුණු කිහිපයක් දක්වමින් සිය සේවාදායකයා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියද මහෙස්ත්‍රාත්වරිය විසින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. සැකකරු දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සූදානම් වනවාත් සමඟම විත්තිකූඩුවේ සිටි සැකකරු තමන්ට අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් සිදුකළ යුතු බව සඳහන් කළා.

මහෙස්ත්‍රාත්වරිය එහිදී අවධාරණය කර සිටියේ එවැනි ප්‍රකාශයක් අධිකරණය ඉදිරියේ සිදුකිරීමට අවැසි නම් ඊට නෛතික ප්‍රතිපාදන තිබෙන බවයි. එම ප්‍රකාශය රහසිගතව සිදුකළ හැකි බව ද නීතිමය තත්ත්වයන් අවබෝධ කරගනිමින් සහ හොඳට සිතා ඒ පිළිබඳ තීරණයක් ගන්නා ලෙස ද උපදෙස් දුන්නා.

එහිදී සැකකාර සමන් රත්නායක මහතා පැවසුවේ තමන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට සූදානම් බවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයි පැවැසුවේ, පාපොච්චාරණයක් සිදුකිරීමට සැකකරු සිය කැමැත්ත පළ කරන බැවින්, ඒ සඳහා ලබන සඳුදා තමන් ඉදිරියේ එම ප්‍රකාශය සිදුකිරීමට අවස්ථාව ලබාදෙන බවයි.

ඒ අනුව සැකකාර සමන් රත්නායක මහතා ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය ඔහු මහර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ද උපදෙස් ලබාදුන්නා.

ඒ අනුව ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා සම්බන්ධයෙන් වු නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles