ශ්රී ලංකා පොදුජන පෙරමුණු නායකයින් සහ ජනාධිපතිවරයා අතර තියුණු ආරවුලක් හට ගනිමින් පවතින බව දේශපාලන ආරංචි පවසනවා. මේ වන විට ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමැතිවරුන් සෘජුවම ජනාධිපතිවරයා සමඟ කටයුතු කරන තත්ත්වයකට පත්ව අවසන්. ඇමැතිධුර දරණ පොදුජන පෙරමුණු නියෝජිතයින් පක්ෂ රැස්වීම්වලට ද සහභාගී නොවන තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී පවතිනවා. එමෙන්ම සෑම අවස්ථාවකම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ කටයුතු කිරීමටත්, සාකච්ඡා සඳහා සහභාගී වීමටත් ඔවුන් උනන්දුවන තත්ත්වයක් ද නිරීක්ෂණය කළ හැකියි.
දැනට ඇමැති තනතුරු දරණ අයගෙන් අති බහුතරය සෘජුවම ජනාධිපතිවරයා සමඟ කටයුතු කරන තත්ත්වයක් නිර්මාණය වී පවතින අතර, එම තත්ත්වය පිළිබඳ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දැඩි සේ කණස්සල්ලට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
එමෙන්ම පසුගියදා රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදීද බැසිල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද එම ආරංචි පැවැසුවා. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට සිය පක්ෂයේ දේශපාලන කටයුතු සිදුකිරීමට අවස්ථාව උදාකළ යුතු බව ද ඔවුන් ජනාධිපතිවරයා වටා ඒකරාශී කරගැනීමෙන් වැලැකීම ඉතා වැදගත් බව ද බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා.
මේ තත්ත්වය හමුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වලකින ලෙසද සිය නියෝජිතයින්ට උපදෙස් ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ ශ්රී ලංකා පොදුජන පෙරමුණු නායකයින් සහ ජනාධිපතිවරයා අතර යම් මතභේදයක් වර්ධනය වෙමින් පවතින බවයි දේශපාලන තොරතුරු වැඩිදුරටත් අනාවරණ කරන්නේ.