හොරකම් කළ ධනය නැවත ලබාගෙන රට ශක්තිමත් කළ හැකි බව පැවැසීම පිළිගත නොහැකි කාරණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ණය බර විශාල මට්ටමක පවතින බවයි. එබැවින් පුද්ගලයෙක් දෙන්නෙක් ලංකාවෙන් ගත්ත මුදල් යළි අරගෙන මේක විසඳන්න පුළුවන් කියනවනම් ඒක සම්පූර්ණ අසත්‍යයක් බව ජනාධිපතිවරයා පවසනවා.
ඔහු මේ බව පැවැසුවේ ‘යුනයිටඩ් යූත් තරුණ එකමුතුව‘ තරුණ අපේ අනාගතය යන තේමාව ඔස්සේ සංවිධානය කර තිබූ සුහද හමුවකදීයී. එහිදී තරුණයෙකු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ රාජපක්ෂවරුන් සොරකම් කළ මුදල් නැවත අත්පත් කරගැනීම තුළ රට ගොඩනැගිය හැකි බවයි. එහෙත් ඒ වෙනුවෙන් උනන්දු නොවන්නේ ඇයිදැයි එම තරුණයා විමසා තිබුණා.
ජනාධිපතිවරයා ඊට පිළිතුරු ලබාදෙමින් වැඩිදුරටත් මෙලෙස අදහස් පළකළා,
රටක් ලෙස අප විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. මෙම ණය ගෙවීම සඳහා 2042 දක්වා මම කාලය ඉල්ලා තිබෙනවා. ඒ වගේම අපි දැන් අලුත් කොමිසමක් පත් කර තිබෙනවා ඕනෑම අයෙකුට එහි ගොස් තොරතුරු ලබාදිය හැකියි. අපි ආණ්ඩුවක් විදිහට මේ පිළිබඳ ක්‍රියා කර තිබෙනවා. නඩු දැමිය හැකි පුද්ගලයන්ට නඩු පවරනු ලැබුවා. අනෙක් අය පිළිබඳ සාක්ෂි තවම ලැබී නැහැ. මේ පිළිබඳ අලුත් කොමිසමට කරුණු වාර්තා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා. එම කටයුතුවලට ඇඟිලි ගහන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.
රටේ මුදල් වංචා කරපු අයට දඬුවම් කර එම මුදල් නැවත ලබා ගන්නවා වගේම රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කළ යුතුයි. මෙය ප්‍රශ්න දෙකක් බව හඳුනාගෙන අප සෑම විටම කටයුතු කළ යුතුයි…. යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කළා.