Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

Express Pearl විනාශයෙන් පීඩාවට පත්වූ බහුතරයකට තවමත් වන්දි ගෙවා නෑ…

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන එහි ගබඩා කොට තිබූ විෂ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීම හේතුවෙන් හානි සිදුවූ වෘත්තීය ධීවර ජනතාවට වන්දි ගෙවා අවසන් කර ඇති බව බලධාරීන් පැවැසුවත්, කිසිදු වන්දියක් හිමි නොවූ ධීවරයින් විශාල පිරිසක් සිටින බව ජ්‍යෙෂ්ඨ නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය ඊයේ (18 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

දහස් ගණනක් වූ ධීවර ජනතාවට අති විශාල හානියක් සිදුව ඇතත් වන්දි හිමිවී ඇත්තේ ඉතා අවම පිරිසකට පමණක් බවද එබැවින් ඒ පිළිබඳව බලධාරීන්ගේ දැඩි අවධානය යොමු කරවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට සිදුව ඇතැයිද ඇය පැවැසුවා.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී ව්‍යසනයෙන් විපතට පත් ධීවර ජනතාව සම්බන්ධයෙන් කළ නිර්ණායක සහ වන්දි ගෙවීමට අදාළ සියලු විස්තර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කළා.

රසායනික ද්‍රව්‍ය කාන්දුවන බවට තොරතුරු ලැබී තිබියදීත් එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට, ශ්‍රී ලංකා මුහුදු සීමාවට නිසි සොයා බැලීමකින් තොරව ඇතුළුවීමට අවසර ලබාදුන් බලධාරීන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙසට බලධාරීන්ට නියෝගයක් ලබා දෙන ලෙස සහ එකී ව්‍යසනයෙන් විපතට පත් ධීවර වෘත්තිකයින්ට නිසි පරිදි වන්දි
ගෙවීමට නියෝග කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය, ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම් සලකා ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබූ අවස්ථාවේ මෙම කරුණු අනාවරණ වුණා.

පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන ජූලි 29 වැනිදා දක්වා කල් තැබීමටයි විනිසුරු මඩුල්ල පියවර ගෙන තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles