Saturday, April 27, 2024

Top 5 This Week

Related Posts

මහ සටනක් – ජන අරගලයක්…

රට ගොඩනැගීම වෙනුවෙන් වූ පුළුල් ජනතා අරගලයකට ලබන මාසයේ සිට මුල පුරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසුවා. ඔහු මේ බව කියා සිටියේ බලපිටිය ආසන බලමණ්ඩලය අමතමින්.

මාරතු මාසයේ න්දය භාවිත කිරීම වෙනුවෙන් රටේ විශාල දේශපාලන උණුසුමක් තිබුණා. අපේ රටේ සාතිශය බහුතර ජනතාවක් ගෙන තිබුණු තීරණයල අපේ රට මෙතෙක් පැමිණි විනාශකාරී ගමන හැරවීමේ ඡන්දයක් බවට පත් කර ගන්නයි. මේ රට විනාශයට පත් කළ පාලක කණ්ඩායම් පලවා හැරීමේ සන්ධිස්ථානයක් බවට මාර්තු නවය මැතිවරණය පත් කර ගන්න සූදානමින් හිටියා. ඒ ගොල්ලන්ගේ අතින් බලය තම තමන් අතර මාරු කර ගන්න රනිල්ලා, රාජපක්‍ෂලා, සජිත්ලා අවසානය දක්වා උත්සාහ කරනවා. ඒ අයගෙන් පොදුජන ව්‍යාපාරයක් අතට බලය මාරු වෙන්න එහෙම ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. බලය මාරු කර ගන්නවා විතරක් නොවෙයි, පාර්ලිමේන්තුවට එන්න බැරි වුණු රනිල් වික්‍රමසිංහ නැවත ගෙන්වාගෙන ජනාධිපතිකමත් ලබා දෙනවා. රනිල් වික්‍රමසිංහ රාජපක්‍ෂලාගේ කඳවුරේ ජනාධිපති වෙයි කියලා කවුරුහරි හිතුවාද? ඒ ගොල්ලන්ගේ බලය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් ජනතාව නොසිතන දේවල් කරනවා. ඔවුන්ගේ අපරාධවලට එරෙහිව ඉන්න පොදු ජනතාවගේ පැත්තේ ඉන්න මාලිමාව අතට බලය එන එක වළක්වන්න ඒ ගොල්ලෝ එකතු වෙනවා. තවම එකතු නොවුණු පිරිසකුත් ඉන්නවා. ඔවුන් එකතු වන්නේ මේ රටේ පොදු ජනතාවට විරුද්ධව.

ජුනි මාසයේ නව වැනිදාට මැතිවරණය නොපවත්වා මාස තුනක් සම්පූර්ණ වෙනවා. ඡන්දය ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය ජුනි මාසයේ අට වැනිදා යළි අරගලය දියත් කරනවා. තරග වදින අපේක්‍ෂක, අපේක්‍ෂිකාවන් ජුනි මාසයේ අට වැනිදා මැතිවරණ කොමිසම ඉදිරියට යනවා. ඊට පස්සේ හම්බන්තොට, අනුරාධපුරයේ, ගම්පහ උද්ඝෝෂණ පවත්වා අන්තිමට කොළඹ වට කරන මහා ජන සටනට අපි ලෑස්තියි. රටකටත්, ඒ රටේ ජීවත්වන ජනතාවටත් සිදුවිය හැකි සියලුම විනාශයන් මේ පාලකයන් අත්පත් කර දී ඉවරයි. පසුගියදා නිකුත් වුණු මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන්නේ ජනගහනයෙන් සියයට හැට අටක් ආහාර ප්‍රමාණය අඩු කරල වේල් ප්‍රමාණය අඩු කර හෝ රුචි නොවන ආහාර ලබාගෙන නිරාහාරව ඉන්න සිදුවී ඇති බවයි. රෝගී ජනගහනයෙන් සියයට හතළිහක් ඖෂධ ගැනීම නතර කර ඇති බවත්, තවත් සියයට හතළිහක් අධ්‍යාපන වියදම් කපාහැර ඇති බවත් ඒ වාර්තාවේ සඳහන් වෙනවා. සියලු ආදායම් මාර්ග කඩාවැටී රෝගීන්ට බෙහෙත් නැති, දරුවන්ට අධ්‍යාපනය නැති, ජනතාවට ආහාර නැති තත්ත්වයක් මේ පාලකයන් උදා කර දී තිබෙනවා. විධිමත්ව රැකියා කරමින් සිටි ලක්‍ෂ පහකට වැඩි පිරිසකට රැකියා අහිමි වෙලා. අවිධිමත් පෞද්ගලික අංශයේ රැකියා අහිමි වූ ප්‍රමාණය ගණන් බලන්නත් බැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් ඇතුළු වෘත්තිකයන්, රටේ දැනුම තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කර රට අත්හැර යනවා. තවත් කණ්ඩායමක් රට අත්හැර කුමන හෝ රැකියාවක් සඳහා විදේශගත වෙනවා. නුපුහුණු කම්කරුවන් එක්ලක්‍ෂ හාරදහසක් ගිය අවුරුද්දේ විදේශගත වී තිබෙනවා.

වැදූ මවට සේ දිනූ බිමට ගෞරව කරන්න, ආරක්‍ෂා කරන්න කියලා පොඩි කාලේ අපි ඉගෙන ගත්තා. නමුත් අද මේ රටේ බහුතරයක් කල්පනා කරන්නේ රට අත්හැර යන්න. ජාතික ජන බලවේගය අරගල කරන්නේ මේ රට මිනිසුන්ට ජීවත් විය හැකි රටක් බවට පරිවර්තනය කරන්නයි. සමාජයීය වශයෙන් විශාල ඛේදවාචකයකට ඇදදමා තිබෙන ජනතාව එකිනෙකා කෙරෙහි ළෙන්ගතුකමෙන් වඩා යහපත් ලෙස බැලිය හැකි සමාජයක් බවට පත් කිරීමේ වගකීම අපි භාර ගන්නවා. මේ රට ගොඩනැඟීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගත හැකි වන්නේ ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීමෙන් පමණයි. ජාතික ජන බලවේගය මේ ක්‍රියා කරමින් ඉන්නේ රට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ජනතා බලය නිර්මාණය කර ගන්නයි. අනුහස් සහිත නායිකාවක් හැටියට චන්ද්‍රිකා ආවා. ඊට පස්සේ මහින්ද රාජපක්‍ෂ ගෙනාවා. දැන් පොහොට්ටුවේ නායකයා කවුද? පොහොට්ටුවට මහින්ද කියන්නේ තවදුරටත් නායකයෙක් නොවෙයි. පසුගිය මැයි දිනයේදී බැසිල් රාජපක්‍ෂ නායකයා වෙන්න ආවා. දැන් පොහොට්ටුව කියන්නේ පොල් මලක් පොළොවේ ගැහුවා වාගේ විසිරී ගිය පිරිසක්. රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපති හැටියට හැම දේම විකුණාගෙන යනවා. තෙල් සංස්ථාවට අයත් පෙට්‍රල් ෂෙඞ් එකසිය පනහක් විසිපස් වැනිදා චීන සමාගමකට වික්කා. ලංකාවේ ඩොලර් නොගෙන අවුරුද්දක් යන තුරු තෙල් ගෙනැවිත් බෙදාහැරීමේ කොන්දේසිය මත පමණයි මේ පෙට්‍රල් ෂෙඞ් ටික විකුණුවේ. කිසිදු මුදලක් ලැබුණේ නැහැ. අවුරුද්දක් යන්න කලින් ජනාධිපතිවරණය තියන්න සැලැසුම් කර තිබෙනවා. හම්බන්තොට වරාය විකුණන කොට පාරට ඇවිත් කෑගැහැව්ව රාජපක්‍ෂලාත්, පොහොට්ටුවට ඡන්දය දුන් ඡන්දදායකයාත් දැන් මොකද කියන්නේ?

විදුලි බලාගාර විතරක් නොවෙයි, ජලාශ ටිකත් විකුණන්න දැන් සූදානම් වෙනවා. මේ නිසා වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, ඉහළ කොත්මලේ, සමනල වැව වාගේ ජලාශ හැම එකක්මත් විකුණනවා.

පොහොට්ටුවේ සාමාජිකයා මේ විකිණීම අනුමත කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ඡන්දය පැත්තක තියන්න හැම දහංගැටයක්ම ගහලා මේ ගමන ගියත්, ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයක් පවත්වන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහට භූමියේ බලයක් නැතිව මාධ්‍යවලින් සංදර්ශන ආර්ථිකයක් හදනවා. අනූතුනේ පළාත් සභාවට ආව චන්ද්‍රිකා අනූහතරේදී ජනාධිපතිනිය වුණා. හැත්තෑහතේදී පාර්ලිමේන්තුවට ආව රනිල් වික්‍රමසිංහ අවුරුදු හතළිස්පහක් හිටියත්, ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි වුණා. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති වෙලා නිදහස් උත්සවය, අවුරුදු උත්සවය, වෙසක්, පොසොන් උත්සව සමරන අතර, පාර්ලිමේන්තුවේ සභා වාරය අවසන් කර මූලාසන කතාත් කරනවා.

ලබන අවුරුදදේ අගෝස්තු මාසයේ ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවන්න ඕනෑ. ඊට කලින් පළාත් පාලන, පළාත් සභා ඡන්ද ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනෑ. තනි තනියෙන් පොරබදලා මේ රට ගොඩ ගන්න බැහැ. සාමුහිකත්වයෙන් වැඩ කරන්න ඕනෑ. ව්‍යාපාරිකයන්, ඉංජිනේරුවන්, ධීවරයන්, ගොවීන්, කම්කරුවන් අපි හැම දෙනාම සාමුහිකව එකතු වී අවුරුදු තුන හතරක් පොරබදලා, මේ රට ගොඩ ගන්න ඕනෑ. නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක වන තත්වයක් ගොඩනඟන්න ඕනෑ. රත්තරන් හොරෙන් ගේන මන්ත්‍රී දඩ ගහලා පාර්ලිමේන්තු එන කොට පොල්ගෙඩි විස්සක් හොරකම් කළ කෙනා හිරේට යවන වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන නීතියක් දැන් තියෙන්නේ. බැසිල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වාගේ අය එළියට එන්නේ අධිකරණයෙන් නිදහස් වෙලා නොවෙයි. නඩුව ගොනු කර තිබුණු ආකාරය වැරැදි නිසයි. එක්කෝ අත්සන නැහැ. නැත්නම් ගහන්න ඕනෑ තැන අත්සන ගහලා නැහැ. අල්ලස් කොමිසමෙන් පැවරූ නඩුව, කොමසාරිස්වරු අත්සන් කර තිබුණේ නැහැ. අධිකරණය මුලින්ම විභාග කරන්නේ නඩුව නිසි පරිදි ගොනු කර තිබෙනවාද කියලයි. මේ ගොල්ලෝ නඩුවලින් බේරුණා නොවෙයි, නීතිය නවලා, නඩුවලින් රිංගුවා. ධනය, බලය යොදාගෙන නීතිය ක්‍රියාත්මක කළේ ඒ විදියට. ජාතික ජන බලවේගය මේ රට ගොඩනඟන්න සෑම කෙනාටම සාධාරණව නීතිය ක්‍රියාත්මක කරනවාග හොරු ටික මේ දවස්වල හොරකම නතර කරලා විතරක් රට හදන්න බැරි බව කියනවා. නමුත්, හොරකම නතර නොකර රට හැදීම ගැන හිතන්නවත් බැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles